ප්‍රතික්ෂේප වීමක් හරි විදියට භාර ගන්නේ මෙහෙමයි! – Saru News Media

0
9

ඔය ප්‍රතික්ෂේප කිරීම් කියන එක ඉතින් අපි ඕනම කෙනෙක්ගේ ජීවිතේ එක පාරක් හරි සිද්ධ වෙලා ඇතිනේ. ඔය ප්‍රතික්ෂේප කිරීම් කියන එක අපි යන ජොබ් ඉන්ටර්වීව් එකකදී කොහොම ඉන්ටර්වීව් එකට මුහුණ දුන්නත්, ජොබ් එක නොලැබී යෑමක් වෙන්න පුලුවන්. අපේ නෑදෑයෝ හිතමිත්‍රයෝ අපි ගැන මොකක් හරි නරක දෙයක් හිතාගෙන, අපිව ආශ්‍රය නොකර අත්හැරීමක් වෙන්න පුලුවන්. ඒ වගේම සුලභවම වෙන්න පුලුවන් ප්‍රතික්ෂේප වීමක් ගත්තොත්, අපි හෙන ලව් එකක් ඇති කරගෙන, සෑහෙන්න ට්‍රයි කරපු ගෑණු ළමයෙක්, අපි එක්ක යාළුවෙන්න ප්‍රතික්ෂේප කිරීමක් වෙන්නත් පුලුවන්. ඇත්තටම එහෙම ප්‍රතික්ෂේප කිරීම් එකක් හරි ජීවිතේට සිද්ධ වෙලා නැතිනම්, ඒක මාරම ජීවිතයක් වෙන්න ඕන. හැබැයි අපි මේ කතා කරන්නේ ප්‍රතික්ෂේප වීම් සම්බන්ධයෙන් නෙවෙයි. ඊට වඩා, අපි කොහොමද ප්‍රතික්ෂේපයක් හරි විදියට භාරගන්නේ කියන එක තමයි මේ කතා කරන්නේ. ඒ ගැන වෙනම කතා කරන්න වෙලා තිබීමටත් හේතුවක් තියෙනවා. ගොඩක් මිනිස්සුන්ට ප්‍රතික්ෂේපයක් කියන දේ හරිහැටි භාරගන්න බැහැ. සමහර වෙලාවට සමහර මිනිස්සු ප්‍රතික්ෂේප වෙන්නේ බොහොම සුළු කාරණාවකට වෙන්න පුලුවන්. ඒත්, ඒ මිනිස්සු ප්‍රතික්ෂේපය භාරගන්න විදිය අනුව, ඒ කෙනා ගැන බොහොම නරක ඉමේජ් එකක් අනික් අයට ඇතිවෙන්න පුලුවන්. ඒ නිසා, ප්‍රතික්ෂේප වීමක් භාරගන්නේ කොහොමද කියන එකත් ඇත්තටම අපි ඉගෙනගෙන ඉන්න අවශ්‍ය කුසලතාවයක්.

අන්න ඒ කුසලතාවය හදාගන්නේ කොහොමද කියන එක ගැන තමයි අපි මේ කියන්න යන්නේ!

කවුරුහරි අපිව ප්‍රතික්ෂේප කළොත්, මොකක් හරි දේකින් අපිව ප්‍රතික්ෂේප වුණොත්, අපිට හරියට රිදෙනවා. හා නැද්ද? ආන්න ඒ නිසා, ඇයි ප්‍රතික්ෂේපය වේදනාකාරී වෙන්නේ කියලා තේරුම්ගන්න එක, ප්‍රතික්ෂේපයක් හරි විදියට භාරගන්න සෑහෙන්න වැදගත් වෙනවා. ඒක අපේ පරිණාමයත් එක්ක බැඳුණු කාරණයක් කියලා මේ ගැන එක්ස්පර්ට්ලා කියනවා. කොහොම වුණත් අපිව දේකින් ප්‍රතික්ෂේප වුණොත්, අපිට දැනෙන්නේ අපි එතනට වටින්නෙ නැහැ කියලනේ. අන්න ඒකත් එක්ක අපේ ස්වයං-අභිමානයට යම් කිසි පහරක් වදිනවා. අන්න ඒක තමයි වේදනාව. හොඳම දේ තමයි, අපි ජීවිතේ බලාපොරොත්තු වෙන ඕනෑම දෙයක් ගැන, පටන් ගැන්මෙදිම ලොකු බලාපොරොත්තු නැතිව ඒකට මූණ දෙන එක. ඉන්ටර්වීව් එකකට යනවා නම්, ඒ ජොබ් එක ගැන හැකිතාක් බලාපොරොත්තු නැතිව යන්න ඕන. ගෑණු ළමයෙක්ගෙන් කැමැත්ත අහනවා නම්, ඒ ගෑණු ළමයව හිතින් තමන්ගේ අනාගත බිරිඳ කරගන්නෙ නැතුව ඒක කරන්න ඕන. අන්න එතකොට, ප්‍රතික්ෂේපයක් සිද්ධ වුණත් වේදනාව අඩුයි. සාර්ථක වුණොත් ඒක බෝනස්!

ඊළඟ දේ  තමයි, මොන විදියේ ප්‍රතික්ෂේපයක් නිසා වුණත්, තමන්ව හිතින් පහළට නොදාගන්න එක. ප්‍රතික්ෂේපයකදී අපිට හිතෙන්න පුලුවනිනේ අපේ වටිනාකමක් නෑ, අපිව එතනට හෝ එයාට ගැලපෙන්නෙ නෑ, අන්න ඒකයි අපිව ප්‍රතික්ෂේප වුණේ කියලා. හැබැයි ඒකෙන් තමයි අපිට අපිව ප්‍රතික්ෂේප කරපු පාර්ශවය ගැන කේන්තියක් ඇතිවෙන්නෙත්, ඒ වගේම අපි ගැනම කලකිරීමක් ඇතිවෙන්නෙත්. හොඳට මතක තියාගන්න, ඔබ කියන්නේ ඔබ. සමහර වෙලාවට, ඔබට තාමත් වර්ධනය කරගන්න ඕන දේවල් තියෙන්න පුලුවන්. හැබැයි ඔබේ තියෙන හොඳ දේවල් ඒකෙන් වෙනස් වෙන්නෙ නෑ. ආන්න ඒක මෙනෙහි කරන්න. ඔබ ගැන නරකට නොහිතන්න.

දැන් අපි ගැන අපිම නරකට හිතන එක වගේම, අපිව ප්‍රතික්ෂේප කරපු පාර්ශවය ගැන නරකට හිතන එකත් වෙන්න පුලුවන්. මුලින්ම අපිට ප්‍රතික්ෂේප කරපු අය ගැන කේන්තියක් එනවනේ. සමහර වෙලාවට අපි හිතනවා “අපිව ලබාගන්න, එහෙම නැතිනම් අපෙන් වැඩක් ගන්න අරුන්ට පින නෑ” කියලත්. ඒක වෙන්නත් පුලුවන්, නොවෙන්නත් පුලුවන්. සමහර වෙලාවට අපිව ප්‍රතික්ෂේප වෙන්නේ ඇත්තටම එතනට අපේ සුදුසුකම් මදි නිසා, එහෙම නැතිනම් ඒ අයගේ අපේක්ෂාවන්ට අපිව ගැලපෙනවා මදි නිසා වෙන්නත් පුලුවන්. එහෙමනම් තියෙන්නේ අපිව සංවර්ධනය කරගන්න. එහෙම නැතිනම් අපිව ප්‍රතික්ෂේප වෙන්නේ, හොඳ දෙයක් තෝරාගන්න අනික් පාර්ශවයට හැකියාව නැති නිසා වෙන්න පුලුවන්. එහෙම වුණත් අපිට තියෙන්නේ, අපිව තව දුරටත් සංවර්ධනය කරගන්න. හැබැයි ඔය කෝක වුණත්, අපිව ප්‍රතික්ෂේප කරනවා කියන්නේ අනික් පාර්ශවයේ තෝරාගැනීමක්, තීරණයක්. ඉතින් ඕනම කෙනෙක්ට තමන්ට ඕන දේ මොකක්ද එපා දේ මොකක්ද කියලා තීරණයක් ගන්න අයිතියක් තියෙනවනේ. ආන්න ඒ තීරණ ගැනීමේ අයිතියට ගරු කරන්න අපි ඉගෙන ගන්න ඕන. ඒ තීරණ ගැනීම ගැන අපි නරකට නොහිතන්න ඕන. අන්න එතකොට, අපිට පුලුවන් අපිව ප්‍රතික්ෂේප කරපු පාර්ශවය ගැන නරකට නොහිතා ඉන්න.

දැන් අපිව කවුරුහරි ප්‍රතික්ෂේප කළොත්, අපිව කොතනින් හරි ප්‍රතික්ෂේප වුණොත්, අපිට ඊළඟට කරන්න හිතන දේ අපේ මමත්වයත් එක්ක සෑහෙන්න සම්බන්ධයි. ඊගෝ එක කියන්නේ, අන්න ඒක. දැන් අපි කියමු අපිව ගෑණු ළමයෙක්ගෙන් හරි පිරිමි ළමයෙක්ගෙන් හරි ප්‍රතික්ෂේප වුණා කියලා. එතකොට අපි හිතනවා ආයෙ ආයෙත් එයා පස්සෙන් ගිහින් කොහොමහරි කැමති කරවා ගන්න. එහෙම හිතනවා නම්, ඊට කලින් හිතන්න එහෙම කරනකොට තමන්ගේ ආත්ම ගෞරවයට මොකද වෙන්නේ කියන එක. ඒ විතරක් නෙවෙයි, අපිව ප්‍රතික්ෂේප කරපු කෙනෙක්ට බණින්න අපිට හිතෙනවා නම්, ඒත් අපේ ආත්ම ගෞරවයටම තමයි හානියක් වෙන්නේ. ඉන්ටර්වීව් එකකට ගිහින් අපිව තේරෙන පාටක් නැතිනම්, අපි ගිහින් එතන ලොක්කට අපේ දුක කියලා හරි කොහොමහරි ජොබ් එක හදාගන්න හිතනවනේ. හැබැයි එතකොට අපේ ආත්ම ගෞරවයට මොකද වෙන්නේ? ආන්න ඒක ගැන හිතන්න. ඇත්තටම ඔය වගේ දේවල් වලින් හානි වෙන්නේ අපේ ආත්ම ගෞරවය. අන්න ඒ නිසා, අපිව ප්‍රතික්ෂේප කරපු තැනකට හෝ කෙනෙකුට නරකට සලකන්න හිතනවා නම්, හොඳට මතක තියාගන්න, ඒකෙන් හානි වෙන්නේ අපේ ආත්ම ගෞරවය, ලෝකය අපිව දකින විදිය කියන එක.

දැන් අපිව අගය කරන කවුරුහරි කෙනෙක් මේ ලෝකේ ඉන්න පුලුවනිනේ. නැතිවෙන්න බෑ, අපිව කොහෙන් ප්‍රතික්ෂේප වුණත්, අඩු ගාණේ අපේ අම්මා තාත්තා හරි, අපේ හොඳම යාළුවෙක් හරි අපිව අගය කරනවා. අපේ ඇත්තටම තියෙන දේවල් අගය කරන්න ඕන කියලා දකිනවා. ආන්න එහෙම අයව මුලින් හොයාගන්න. ඒ වගේම, අපිව කොහෙන් හරි ප්‍රතික්ෂේප වුණොත්, අපිව අගය කරන අයත් එක්ක කතාබහ කරන්න, ඒ අය එක්ක කාලය ගත කරන්න. අන්න එතකොට, අපිට පුලුවන් ඒ ප්‍රතික්ෂේපය නිසා සමහර වෙලාවට ඇතිවුණු ආත්ම අභිමානය බිඳ වැටීමෙන්, සිත් වේදනාවේන් ගොඩ එන්න. ඒ වගේම, ඒ අයත් එක්ක සාකච්ඡා කරන්න ඔබට ගන්න පුලුවන් ඉදිරි පියවර ගැන. අපිවම සංවර්ධනය කරගන්න නම් කළ යුතු දේ ගැනත් ඒ අයත් එක්ක සාකච්ඡා කරන්න. ආන්න එහෙම අය අපි අවට ඉන්නකොට, අපිට ප්‍රතික්ෂේපයක් වුණත් ධනාත්මකව භාරගන්න හැකියාව ලැබෙනවා.

දැන් අපි ප්‍රතික්ෂේපයක් භාරගන්නේ කොහොමද? ඒ කියන්නේ මානසිකව විතරක් නෙවෙයි, ප්‍රායෝගිකව ගත්තොත්? අපිව ඉන්ටර්වීව් එකකින් ප්‍රතික්ෂේප වුණා කියලා අපි එතනින් ගස්සගෙන එනවද, දඩාං ගාලා දොර වහගෙන යනවද? එතකොට කොල්ලෙක් අපිව ප්‍රතික්ෂේප කළා කියලා, අපි ඇවිත් තැන තැන ඒ කොල්ලගේ වැරදි කියලා බණිනවද? ඇත්තටම ඒ දේවල් වලින් වෙන්නේ අපේ කොලිටි එක අඩුවෙන එක තමයි. ලෝකෙටත් අපි කොලිටියක් නැති මිනිහෙක් කියලා පේන එක තමයි ඒකෙන් වෙන්නේ. ඒ වෙනුවට අපිට බොහොම ආචාරශීලීව හිනාවෙලා, ස්තුතියි කියලා එන්න පුලුවන් නම්, අන්න ඒකෙන් අපේ කොලිටිය දන්නෙම නැතුව වැඩිවෙනවා. මතක තියාගන්න. අපිට හොඳ, යහපත්, ආචාරශීලී, කාරුණික ගති තියෙනවා නම්, අන්න ඒ ගතිලක්ෂණ වලින් නිර්වචනය වෙන්නේ අපිව තමයි. ඉතින් ප්‍රතික්ෂේප වුණත් නැතත්, ඒ හොඳ ගතිලක්ෂණ අපි තියාගන්න ඕන. අපිව ප්‍රතික්ෂේප කරන කෙනෙක්ට වුණත් කාරුණිකව සලකන්න අපේ ගතිගුණ දියුණු කරගන්න ඕන.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here