ප්‍රේමය රවට්ටන්නට හෝ රැවටෙන්නට ඇති දෙයක් නෙවෙයි! – Saru News Media

0
3

නීතිඥ තක්ෂිලා ජයසේන මෙනෙවියගේ වෘත්තිය අත්දැකීමක් ඇසුරෙන්. වෘත්තිය සදාචාරය සඳහා නම් ගම් මනඃකල්පිත වේ)

වරුණි විසිපස් හැවිරිදි යුවතියක්. ඇය පෞද්ගලික ආයතනයක රැකියාවක් කරමින් බොහොම නිදහස් ජීවිතයක් ගත කළා.

“කොල්ලෙක් හොයා ගන්නේ නැත්තේ මොකද අනේ?”

මිතුරියන් එහෙම අහද්දී වරුණි ඒ හැමෝටම දුන්නේ එකම උත්තරයක්.

“අපෝ ඔය ලව් පටලවා ගන්න එක මහ ඇණයක් අනේ. මට ඕනෑ නිදහසේ ඉන්න. ලව් කර කර අඬ අඬා ඉන්න මට කම්මැලි.”

ඇත්තටම වරුණි ගෙවූයේ බොහොම නිදහස් ජීවිතයක්. ඇය ඒ නිදහස් ජීවිතය නැති කරගන්න කැමති වූයේ ද නැහැ. අනෙක් අතට ඇගේ ඥාති සහෝදරියන් කිහිප දෙනෙකුටම නැන්දම්මා සම්බන්ධයෙන් කටුක අත්දැකීම් ඇති නිසා වරුණි අමුතු කතාවක් කියන්නට හුරුව සිටියා.

“මං බඳිනවනම් බඳින්නේ අම්මා තාත්තා නැති අහිංසක කොල්ලෙක්ව.”

නමුත් කිසිවෙකුත් ඒවා ගණනකට ගත්තේ නෑ. නිවසේ ආදරය උපරිමෙන් ලැබෙන වරුණි අවශ්‍ය කාලයේදී පෙම්වතෙකු සොයා ගන්නා බව ඔවුන් විශ්වාස කරා.ඇයව හදිසියේ විවාහ කරවන්නට ඔවුන්ට ඕනෑ වූයේ නෑ.

වරුණි ෆේස්බුක් සමාජ ජාලයට දැඩිව ඇබ්බැහි වූ යුවතියක්.දුමින්ද වරුණිට මුණ ගැහෙන්නේ ෆේස්බුක් හරහා. ෆේස්බුක් සමූහයක වරුණි ඉතා සක්‍රීය සාමාජිකාවක වී සිටියා. වරුණිගේ හැම කමෙන්ට් එකකටම පිළිතුරු දෙන දුමින්ද ඇගේ මිතුරු ලැයිස්තුවට එන්නටත් පෙර ඇගේ හොඳ මිතුරෙක් බවට පත් වුණා. කඩවසම් දුමින්දට වරුණිගේ හොඳම මිතුරා වන්නට වැඩි කාලයක් ගියේ නෑ.දුමින්ද සංචාරයට ප්‍රිය කරන්නෙක්. ඔහු තනිව සංචාරය කළ ඡායාරූප, කෑම්ප්, හයිකින් වැනි දේවල් වරුණිගේ ඉමහත් කැමැත්තට හේතු වුණා. නමුත් දුමින්ද ඒ බොහෝ සංචාර තනිව යන හේතුව වරුණිට දැන ගන්නට ඕනෑ වුණා.

“මට ඉන්නේ මං විතරනෙ.”

සුනාමි ව්‍යවසනයට දෙමාපියන් සහ එකම සොයුරා ලක් වූ අන්දම දුමින්ද කියද්දී වරුණිට එය අසා සිටීම පවා අපහසු වුණා. නමුත් කරන්නට දෙයක් තිබුණේ නෑ. ඔහුට දැන් කාත් කවුරුත් නෑ.

“මං වගේ කවුරුත්ම නැති කොල්ලෙක්ට දුවෙක් දෙන්නෙ කවුද?”

පෙම්වතියක නැති හේතුව අසද්දී දුමින්ද පැවසුවේ එහෙම කතාවක්. ඉන්පසු වරුණි ඔහුට වඩවඩාත් සමීප වෙන්නට පටන් ගත්තා. ඔවුන් පෙම්වතුන් බවට පත් වුණා. ඒ සම්බන්ධතාවය අතිශය සමීප එකක් වෙන්නටත් පටන් ගත්තා. ඔවුන් නිදහසේ සංචාරවල යෙදුණා. සමීප ඇසුරක යෙදුණා. මන්මත් වන තරමේ ආදරයක් දුමින්දගෙන් වරුණිට ලැබුණා.

“මට අම්මා තාත්තා කවුරුත්ම නෑ. නෑයෝ එක්කත් සම්බන්ධකම් නැතිම තරම්. පොඩි කාලේ ඒ මිනිස්සු මට සලකපු හැටි මතක තියනකොට මට එයාලා එක්ක නෑකම් තියා ගන්න අමාරුයි.මට කාත් කවුරුත් නැති නිසා ජීවිතේ ගැන ලොකු අරමුණු තිබ්බේ නෑ. ඉඩමක් නම් අරන් දාලා තියනවා. මං ඒ ඉඩමේ ගෙයක් හදන්න තමා අදහස”

මිතුරෙකු සමඟ වරුණිගේ නිවසට ආ දුමින්ද එහෙම කිව්වා. කාත්කවුරුත් නැති කෙනෙකුට පවුලේ එකම දියණිය විවාහ කර දෙන්නට මුලින් අම්මා විරුද්ධ වුණා. ඒත් පසුව සියල්ල යහපත් වුණා.වරුණිගේ සහ දුමින්දගේ විවාහය ප්‍රදේශයේ ඉහළම හෝටලයට පැවැත්වුණේ ඉතාම උත්කර්ෂවත් ලෙස.

“වීක් එන්ඩ්ස් වල ඩිග්‍රි එකේ වැඩේට කොළඹ යන්න ඕන. ඒ දවස් දෙක මැණිකෙට අම්මලා එක්ක ඉන්න පුලුවන් නේද?”

විවාහයට පෙර දුමින්ද වරුණිගෙන් ඉල්ලූ ඉල්ලීම එපමණයි. වරුණිට එයට එකඟ නොවන්නට හේතු තිබුණේ නෑ.

විවාහයට වැඩි වශයෙන් පැමිණියේ වරුණිගේ හිත මිතුරන් සහ නෑදෑයන්. ඉන් එක් මිතුරියක් යුවල සමඟ ගත් ඡායාරූපයක් ෆේස්බුක් වෙත එකතු කරේ සුබ පැතුමක් ද සමඟයි.

චායා, ෆේස්බුක් තීරයේ එහෙමෙහෙ ගමන් කරමින් සිටියදී අතිශය පුදුමයට පත් වුණේ තමන්ගේ සරසවි මිතුරියක් සහභාගී වන විවාහ උත්සවය දැකීමෙන්.

“අනේ ඒ කපල් එක මාර ලස්සනයි. තව ෆොටෝස් එවන්නකො.”

චායාගේ මිතුරිය ඉල්ලීම පිළි ගත්තා. මේ තමන්ගේ ඥාති සහෝදරිය වන ඉනෝකා අක්කාගේ සැමියා බව තේරුම්ගත් චායාගේ හිස ගිනිගන්නට පටන් ගත්තා. නමුත් කල් මරන්නට කාලයක් තිබුණේ නෑ. මිතුරිය හෝටලයේ නම පවා සඳහන් කර ඇති නිසා චායා වහාම සියළු විස්තර ඉනෝකාට ලබා දුන්නා.වහාම ක්‍රියාත්මක වන්නටත් උපදෙස් දුන්නා.ඉනෝකා තමන්ගේ තුන් හැවිරිදි දරුවා ද සමඟ හෝටලය වෙත ආවේ වියරුවෙන්. ඇයට හෝටලයට එන්නට සෑහෙන දුරක් තිබුණා. ඒ නිසා ඇය එද්දී යුවළ මධුසමයට පිටත් වී අවසන්.විවාහ සහතික, දරුවාගේ උප්පැන්න, විවාහ ඡායාරූප සහ එකට ගත් ඡායාරූප සමඟ ඉනෝකා කියන හැමදෙයක්ම වරුණිගේ තාත්තා ඉවසීමෙන් අසා සිටියා.

දුව, ඔයාටවත් මගෙ දුවටවත් මේ නරුමයා හින්දා ජීවිතේ නාස්ති වෙන්න දෙන්න බෑ. මං මේක විසඳනවා.”

ඔහු ඉතා ඉවසීමකින් සහ බුද්ධිමත්ව පිළිණ දුන්නා.

වරුණිගේ මල්ලී මධුසමයට පිටත් වෙමින් තිබුණු මෝටර් රථයේ රියදුරා අමතා කතාව කෙටියෙන් විස්තර කළා. ඔවුන් නුවරඑළිය බලා ගමන් කරමින් සිටියා. ළඟම ඇති පොලිස් ස්ථානයට වාහනය ගෙන යන්නට වරුණිගේ මල්ලිගෙන් රියදුරාට උපදෙස් ලැබුණා.

වැඩිහිටි උපදෙස් පරිදි වරුණිගේ මිතුරිය වූ ඔමාලි ඇයට කෙටි පණිවිඩයක් හරහා තත්ත්වය දැනුවත් කළා. හඬන්නට කම්පා වන්නට නොයා රියදුරාට කළ යුතු දේ කරන්නට ඉඩ දෙන ලෙස ඔමාලි මිතුරියට සිහි කළා.

ඉනෝකා සහ දරුවා සමඟ පොලිස් ස්ථානයට ආ වරුණිගේ ඥාතීන් ඉදිරියේ ඇත්ත පිළි ගන්නවා හැරෙන්නට කළ හැකි වෙන දෙයක් දුමින්දට ඉතිරිව තිබුණේ නැහැ.

වරුණි පසුදාම දෙමාපියන් සමඟ අප මුණ ගැසෙන්නට ආවා. ඇගේ විවාහය ශුන්‍ය සහ බල රහිත එකක්. ඉන් නිදහස් වන්නටත් බහු විවාහය යටතේ දුමින්දට නඩු පවරන්නටත් ඇයට ඕනෑ වුණා. මේ නඩුව මේ වන විට විභාගයට ගැනෙමින් පවතිනවා. දුමින්දට බහු විවාහ යටතේ සිර දඬුවම් පවා හිමි වන්නට ඉඩ තිබෙනවා.

ආදරය ඕනෑම මොහොතක ඇති විය හැකි දෙයක්. නමුත් විවාහය ඊට වඩා බරක් ඇති දෙයක්. ඔබ විවාහ වන පුද්ගලයා ඔහු ගැන කියන දේට අමතරව ඔහු ගැන සොයා බැලීම අතිශය වැදගත්. ඒ සම්බන්ධයෙන් උපාය දූතයන් හෝ යොදවා සොයා බැලීමෙන් ඔබට නරකක් වෙන්නේ නැහැ.

අනිත් කාරණාව මෙවැන්නක් සිදු වූ විට වරුණිගේ ගෙදර අය මෙන් හැසිරෙන්න. කලබලයට පත් නොවී වහා කළ යුතු දේ කරන්න. කලින් විවාහ වූ දික්කසාද නොවූ පුද්ගලයෙකු සමඟ විවාහ වූ විට විවාහය ශුන්‍ය සහ බල රහිත වෙනවා. ඒ නිසා නීතිය හමුවට ගොස් ඒ දික්කසාදය හැකි ඉක්මනින් ලබා ගන්න.

ප්‍රේමය රවට්ටන්නට හෝ රැවටෙන්නට ඇති දෙයක් නෙවෙයි!

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here