මූගල් අධිරාජ්‍යයේ ප්‍රභලම රැජිණ ජෝධා – Saru News Media

0
18

“පරපුරේ මරිය මාතාව” එහෙමත් නැතිනම් “පරපුරේ උසස්ම කාන්තාව” ලෙස නම්කර ඇති මාරියම්-උස්-සමානි- මහා මෝගල් අධිරාජිනිය සහ අක්බර් අධිරාජ්‍යයාගේ භාර්යාව, හර්කාබායි, කියන නම් වලින්ද හඳුන්වනේ ජෝධා රැජින කියන කාරණය දැනටමත් විවාදාත්මකව පවතින දෙයක්.
ඒත් ඉතිහාසඥයින් පවසන විදිහට ඇය 1569 දී ඇයගේ පුතා වුනු ෆතේපූර් සික්රිහිදී සලීම් කුමරු (ජහන්ගීර් අධිරාජ්‍යයා) බිහි කළ නිසා අක්බාර් අධිරාජ්‍යයා ඇයට ගෞරවයක් ලෙස “මයියම්-උස්-සමානි” යන පදවි නාමය පිරිනැමුවා කියලා.

මේ වැනි කාරණා නිසා ඉහතින් හැඳින්වූ නම් සියල්ලම ජෝධා හැඳින්වීමට භාවිතා කල බවට සලකන්න පුලුවන්.

ඇය 1542 ඔක්තෝම්බර් 1 වන දින තමයි උපන්නේ. ඇගේ පියා ජායිපූර්හි පාලකයා වූ රාජා භර්මාල් ය. ඇගේ ළමා කාලයේ ඇයව සියල්ලෝම හැඳින්වූයේ හීරා කුමාරිකාව කියලා.

මූගල් අධිරාජ්‍යයේ පෙම් යුවල විදියට ඉතිහාසගත වෙලා තියෙන්නේ ජොධාගේ සහ අක්බාර්ගේ ආදර කතාව. ඉතින් මේ විවාහය සිද්ධ වුනේ නම් සම්පූර්ණයෙන්ම ජායිපූර් රජු සහ මූගල් අධිරාජ්‍යයා අතර දේශපාලන සන්ධානයක් විදියටයි. ඔවුන්⁣ගේ විවාහය සිද්ධ වෙන්නේ 1562 දී. අක්බාර් රජු ජෝධාට කලින් තමන්ට වඩා වයසින් වැඩි කුමාරිකාවන් තුන් දෙනෙක් විවාහ කරගත්තා. ජෝධා කියන්නේ ඔහුගේ හතරවන බිරිඳ. ඔවුන් දෙදෙනා විවාහ වන විට දෙදෙනාම සම වයසේ. මේ නිසා ඔවුන්ගේ අදහස් සහ සිතුම් පැතුම් හොඳින්ම ගැළපුණු බව තමයි සඳහන් වෙන්නේ. ලංකාවේ සාලිය අශෝක මාලාගේ ආදරය වගේම ජෝධාගේ සහ අක්බාර්ගේ ආදරයත් ඉතිහාසගත වුන පෙම් පුවතක්.

ජෝධා හින්දු කාන්තාවක්. එවකට මූගල් අධිරාජ්‍යය තුළ හින්දු බැතිමතුන් සඳහා බදු පනවලා තිබුනා. ඇය මේ බදු අහෝසි කරන්න කියල අක්බාර් රජුගෙන් ඉල්ලා සිටියා. එම නිසා හින්දුන් සඳහා වූ බද්ද අක්බාර් රජු විසින් ඉවත් කලා. මෙය හින්දූන් වෙනුවෙන් ඉටු කල සුවිශේෂී උපකාරයක් විදියට ඉතිහාසයේ සඳහන් වෙනවා.
ඒ වගේම ඇය ක්‍රිශ්ණු දෙවියන්ගේ බැතිමතෙක්. මෝගල් අධිරාජ්‍යයේ මාලිගාව ඇතුලේම දෙවියන්ට වන්දනා කරන්න කුටියක් හදාගත් ඇය මේ අවස්ථාව රටේ අනිකුත් අයටත් ලබා දුන්නා.

මේ දෙදෙනාගේ ආදරය සහ විවාහය අක්බාර්ගේ පාලන කාලයේදී වගේම පසුකාලීනව මූගල් පාලනයේ ආගමික හා දේශපාලන ප්‍රතිපත්ති කෙරෙහි ගැඹුරු බලපෑමක් ඇති කරා.

ජෝධා නිසා හින්දු භක්තිකයන් පිළිබඳ අක්බර්ගේ ලිබරල් ආකල්පයත් සමඟ ඔහු ඉන්දියාව පුරා විශිෂ්ට රජෙක් බවට පත්වුනා. ඇය නිසා තමයි සියලු ආගමිකයන්ට, සියලු නිකායන්ට සමානව සලකන්න පටන් ගත්තේ.

රැජින නිසා අක්බාර් බොහෝ හින්දු විශ්වාසයන් අනුගමනය කළ අතර එදිනෙදා ජීවිතයේදී ඒවා පිළිපැද්දා. ඒ වගේම උසාවියේදී හින්දු භක්තිකයින්ට ඉහළ ප්‍රමුඛත්වයක් ලබා දෙන්නත් රජු කටයුතු කළා. ඔහු බොහෝ හින්දු උත්සව සැමරීමට අවසර ලබා දුන්න. ඒ වගේම ඔහුද හින්දු උත්සව සැමරුම් සඳහා සහභාගී වුනා. කෙසේ හෝ ජෝධා බෙගම් මෝගල් රාජ සභාවේ උසස් නිලය භුක්ති වින්දා වගේම පරිපාලන ප්‍රශ්නවලදීද තම බලය පෙන්වන්න සමත් වුනා.

ඇයව හින්දුස්ථානයේ, ඉන්දියාවේ රැජින ලෙසත් හඳුන්වනවා. අක්බාර් රජු ඇයව හැඳින්වූයේ දෙවියන්ගේ ත්‍යාගයක් කියලා. ඉතිහාසයේ සාක්ෂි වලට අනුව ගරු නම්බුනාම විශාල ප්‍රමාණයක් ඇයට ලැබිල තියෙනවා. ඇය ඉතාම නුවනැති කාන්තාවක් වගේම තම ස්වාමියාගේ අක්බාර් රජුගේ පරිපාලන කටයුතු ද පහසු කරා.
රජු මාළිගයේ නොමැති විට පවා බොහෝ තීන්දු තීරණ ගත්තේ ඇයයි. ඇයට රාජ්‍යයේ නීති අනපනත් ක්‍රියාත්මක කරන්න, අත්සන් කරන්න බලය පැවරිලත් තිබුනා.
රැජිණ විදේශ වෙළෙඳ හා වාණිජ කටයුතු අමාත්‍යාංශය බලාගත්තා. මේ නිසා බදු ක්‍රම හා නීති රීති බෙහොමයක් සාමාන්‍ය ජනතාවට පහසුවන ලෙස වෙනස් කරන්න කටයුතු කලා.

ඇය රාජ්‍ය පාලනයට සම්බන්ධ වුනත් කාන්තාවක් විදියට ස්වාධීනව ඇගේ ව්‍යාපාර කටයුතු කරගෙන ගියා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here