යූටියුබ් එකෙන් ජීවිතේ දිනපු කෙල්ලෝ – Saru News Media

0
5

වැලේ වැල් නැතුව බලාගත්තු අත බලා ඉන්න මිනිස්සුන්ට දියුණුවෙන්න තියන අවස්ථා පේන්නේ නෑ. ඒ පෙනුණත් ඒවා ගණනකට ගන්නේ නෑ. අන්තර්ජාලයත් එක්ක හැමදාම හෙට්ටු වෙන කාලේ ඒක ආර්ථිකමය වශයෙන් හරි පෞරුෂය පැත්තෙන් හරි උල්පතක් කරගෙන ඉන්නේ ටික දෙනයි. යූටියුබ් එකෙන් වීඩියෝ බැලුවාට ඒකේ අස්සේ ජීවත්වෙන මිනිස්සු හදාරන්න ඕනි. යූටියුබ් නිසාම ජනප්‍රිය වුණ ලාංකිකයන්ගේ ප්‍රවණතාවත් ඉහළ යනවා. කොහොමින් හරි අද කතිකාව නම් ලෝකේ වටේ ඉන්න යූටියුබ් නිසා ගොඩගිය කාන්තා පාර්ශ්වේ ගැනයි.

 

වැඩේ පටන් ගන්නේම අල්ලපු රටෙන්. ලිලී කියන්නේ කැනඩාවට සංක්‍රමණය වුණ ඉන්දියානු දෙපළකගේ බාල දුව. ඉතින් එයා කැනේඩියානු ජාතිකයෙක්. හැබැයි ඇයගේ හැම වීඩියෝ එකකම තියෙන්නේ ඉන්දියානු අනන්‍යතාව. ඒක වක්‍රාකාරව ලෝකෙටම අරන් ගියපු තැනැත්තියක් විදියට ඇයව හඳුන්වන්න පුළුවන්. ගෑණු පිරිමි භේදයක් නැතිව 2016 අවුරුද්දේ ෆෝබ්ස් සඟරාවට අනුව යූටියුබ් එකෙන් වැඩිම ආදායමක් ලබන අය අතර තෙවන ස්ථානයේ හිටියෙත් මෙයා. අද මේ වගේ තැනක ඉන්න ඈ කාලයකට කලින් විෂාදයෙන් පෙළුණ තැනැත්තියක්. යෝක් විශ්වවිද්‍යාලයෙන් උපාධිය සම්පූර්ණ කරලා පශ්චාත් උපාධියක් කරන්න දෙමව්පියන් කියද්දීත් ඈ තෝරාගන්නේ යූටියුබ්. ඒ තේරීම හරියටම හරි. අද ඇගේ ශුද්ධ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 16ක්. සල්ලි හම්බ කරපු ගමන් මිනිස්සුත් හම්බ කරපු ලිලී ලෝකේ පුරාම උන්මාදයක්.

 

මිෂෙල්ට තියෙන්නෙත් පුදුම කතාවක්. බොස්ටන්වල ඉපදුණාට එකම ගෙදරක ජීවත්වෙන්න අවස්ථාවක් ඇයට ලැබෙන්නේ නැහැ. හරි හරියට ගෙවල් මාරු කරන්න සිද්ධ වුණා. මොකද කියනවා නම් මිෂෙල්ගේ තාත්තා ආදරණීය වුණාට සූදු කප්පිත්තෙක්. කොහොම හරි දවසක් තාත්තා අතුරුදහන් වෙනවා. අම්මා මිෂෙල්වයි අයියාවයි ආදරයෙන් බලාගන්නවා. අලුත් තාත්තා කෙනෙක් ලැබුණාම මිෂෙල් හිතුවේ ඔක්කොම හරි යාවි කියලා. ඒත් ඒ තාත්තාගෙන් මිෂෙල්ට ලැබුණේ නංගි කෙනෙක් විතරයි හොඳ දේකට. මේ අලුත් තාත්තාගේ වදය ඉවසන්න බැරි තැන අම්මා ළමයි පැටව් ටිකත් එක්ක ඔහුගෙන් වෙන් වෙලා යනවා. හරි අමාරු කාලයක්. මිෂෙල්ටත් අයියටත් වැඩ කරන්න වුණා. ඒ අතරේ මිෂෙල් පාසල් ගියා. එතනදී හැමෝටම ලැප්ටොප් දුන්නා. ඒ හරහා ඉස් ඉස්සෙල්ලාම ඇය මේකප් ටියුටෝරියල් දාන්න පටන් ගත්තා. අද ඒ ගමන මිලියන ගාණක ශුද්ධ වත්කමක් එක්ක තාමත් ගමනේ. ඇගේ පවුලේ අයට අද හැම සැප සම්පතක්ම තියෙනවා.

 

කැනඩාවේ ඉඳන් යන්නේ එංගලන්තයට. සොඑලා යූටියුබ් කරළියට එන්නේ 2007දී. ඊට කලින් ගෘහ අලංකරණ ආයතනයක ආධුනිකයෙක් විදියට ඇය වැඩ කරලා තියනවා. එහෙම පටන් ගත්තු ගමනේ අද ඇගේ ශුද්ධ ආදායම ස්ටර්ලින් පවුම්වලින් මිලියන 2.5ක්. කඩා වැටුණු ප්‍රේම සම්බන්ධතා, ඇන්සයිටි වගේ ප්‍රශ්න නිසා දුකෙන් හිටියත් අද යූටියුබ් නිසාම ඇයට ඕනි කරන හැම දෙයක්ම වගේ ලැබිලා තියෙනවා. ඇයගේ සහකරුවාත් තවත් ප්‍රසිද්ධ යූටියුබ් වීඩියෝ නිර්මාණකරුවෙක්. මේකප්, එක එක කෑමවර්ග, ආදරේ සම්බන්ධ ටිප්ස් වගේ ගෑල්ලමයෙකුගේ හිත යන අන්තර්ගතයක් තමයි මෙයාගේ චැනල් එකේ තියෙන්නේ.

 

ඇමරිකානු ජාතිකයෙකු වන ලයිසා පොඩි කෙල්ලෙක්. ඒ කියන්නේ හරියටම අවුරුදු 22යි. හැබැයි වැඩ නම් 22ට වඩා වැඩී. රංගන ශිල්පිනියක් විදියට කරළියට බැස්සත් ලයිසාට හරි ගියේ යූටියුබ් නිසයි. ලිලී සින්ග්ගේ වගේම ලයිසාගේ වීඩියෝවලත් තියෙන්නෙ එදිනෙදා අත්දකින හරිම සාමාන්‍ය දේවල්. හැබැයි ඒක ඉදිරිපත් කරන විදියෙයි දක්ෂකම තියෙන්නේ. ප්‍රේක්ෂක ප්‍රජාවට හිනාවක් දෙන්න ලයිසා නටන දහඅට වන්නම ඒ වීඩියෝ එකක් බැලුවම දකින්න පුළුවන්. ලයිසාගේ ශුද්ධ වත්කම දැන් ඇමරිකානු ඩොලර් මිලියන 2.5යි. ඒක අනික් අයට සාපේක්ෂව අඩුයි වගේ දැනෙන්නේ ඒ අයට ගොඩක් කාලෙකට පස්සේ මෙයා සීන් එකට එන්ටර් වුණ නිසා.

 

සමහර අයට කරදරයක් වෙන්නේම මොකක් හරි හොඳ දෙයක් ඉස්සරහට තියෙන නිසා. බනීට වුණෙත් ඒ දේම තමයි. රිය අනතුරක් වෙලා ඇඳුම් මහන්න බැරි වෙනකම්ම ඇය කරේ ඒ රස්සාවයි. නමුත් ඒකෙන් පස්සේ එක පාරට ඇය යූටියුබ් තමන්ගේ ජීවන වෘත්තිය විදියට තෝරාගන්නවා. බනීගේ වීඩියෝ හරිම අමුතුයි. ඒ මදිවාට සෑහෙන ලොකු පරාසයක විහිදෙනවා. අමුතුයි කියන්නේ හොල්මන් වගේ අද්භූත ඒවයෙන් පටන් අරන් විලාසිතා වගේම, රූපවාහිනියේ වෙළඳ දැන්වීම්වල පෙන්වන බඩු අරගෙන ඒවා ඇත්තටම ඒ වගේ ද නැද්ද කියලා ඒකේ ඇදකුද හොයන වීඩියෝස් දක්වා මේ පරාසය විහිදෙනවා. ඇන්සයිටි නිසා තදබල පීඩාවක් විඳපු බනී අද සාර්ථක ආත්ම විශ්වාසයකින් යුත් ගැහැණියක්. ඇයගේ ශුද්ධ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් පමණ වෙනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here