රට හෙල්ලූ උපවාස – Saru News Media

0
7

කන්න නැතුව කොච්චර කල් ඔයාට ඉන්න පුළුවන් කියලා හිතුනවද? ගොඩක් කට්ටියට නම් දවසක් වත් බැරුව ඇති නේද? හැබැයි සමහර ආගමිකයෝ නම් විවිධ ආගමික හේතු නිසා උපවාස කරනවා. උදාහරණයක් විදිහට කිතුණුවෝ පාස්කුව වෙනුවෙන් උපවාස ශීලයක් රකිනවා. මුස්ලිම් බැතිමතුන් රාමදාන් වෙනුවෙන් උපවාස කරනවා. ඒ වගේම බෞද්ධයෝ පොහොය දිනය තුළ අටසිල් සමාදන් වුණොත් රාත්‍රී කාලයේ ආහාරවලින් වැළකෙනවා.

හැබැයි සමහර අවස්ථා වලදී කිසිම ආගමික හේතුවක් නැතුව ඉල්ලීම් දිනා ගන්න ඇතැම් අය උපවාස කරනවා. මහත්මා ගාන්ධි තුමා උපවාස කිරීම් මගින් ලෝකය පුරා ප්‍රසිද්ධියට ලක් වූ කෙනෙක්, ඒ ඉන්දීය නිදහස් සටන වෙනුවෙන්. ඇතැම් අය නම් පෞද්ගලික හේතූ උදෙසා උපවාස කරනවා. ඒ වගේ අවස්ථාවක් ගැන බෞද්ධ සාහිත්‍ය‍යෙත් සඳහන් වෙනවා. මාතාංග කියන සැඩොල් තරුණයෙක් දිට්ඨමංගලිකා නම් කුමාරිකාවක් පතා ගේ ඉස්සරහ උපවාසයක් කරපු කතාවක් ගැන අපිට අහන්න ලැබෙනවා. අද සමාජයේ ස්ථාන මාරුවීම්, සහනාධාර ලබා ගැනීම්, තමන්ට සිදුවුණු විවිධ අසාධාරණකම් වෙනුවෙන් උපවාස කිරීම් ගැන විවිධ තැන් වලින් ඉඳහිට අහන්න ලැබෙනවා. මේ නිසා අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ දේශපාලනයට සම්බන්ධ උපවාස කිහිපයක් පිළිබඳව.

 

මේ උපවාසය ලංකාවට කළු පැල්ලමක් එකතු කරන්න සමත් වෙච්ච උපවාසයක්. තිලීපන්ගේ මුල්ම නම රාසයියා ප්‍රදීපන්. එල්ටීටීඊ සංවිධානය මගින් ඔහුට ලබා දුන් නම තමයි තිලීපන් කියන්නේ. 1987 සැප්තැම්බර් 15 වැනිදා ඔහු උපවාසයක් ආරම්භ කරනවා. ඒ යුද හමුදාව උතුරු නැගෙනහිර පළාත්වලින් ඉවත්විය යුතුයි සහ තව ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන. ඒ වෙනුවෙන් ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ මැදිහත් වීම ඔවුන් බලාපොරොත්තු වෙනවා. නමුත් අවසානයේ දී සැප්තැම්බර් 26 තිලීපන් මිය යනවා. අද වෙනකොට ගොඩක් දෙනා තිලීපන් කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් කියලා කියන්න උත්සහ කරත් තිලීපන් කියන්නේ එල්ටීටීඊ සංවිධානයේ යාපනය දේශපාලන නායකයා. ඒ වගේම ඒ වන විටත් යුද මෙහෙයුමකදී ලද තුවාල හේතුවෙන් තිලීපන්ගෙ ජීවිතය අවිනිශ්චිත වෙලා තිබිලා තියෙන්නෙ. අවසාන මොහොතේදී තිලීපන් උපවාසය අත් අරින්න උත්සාහ කළ බවත් ප්‍රභාකරන් එයට ඉඩ නොදුන් බවත් කියන්න තිලීපන් වීරයෙක් කරන අය මග අරිනවා.

 

1932 වර්ෂයේ දී මඩකලපුවේ දී උපන් ඇය මිය යන විට දරුවන් දෙදෙනකුගේ මවක්. එක් මුනුපුරෙකුගෙ මිත්තණියක්. ඇගේ දරුවන් දෙදෙනෙක් හමුදා වෙඩි පහරින් මිය යෑමත් සමගම එල්ටීටීඊ සංවිධානය සහ ඉන්දීය සාම සාධක හමුදා අතර සාම ගිවිසුමක් ඇති විය යුතු බව කියමින් ඇය උපවාසයක් ආරම්භ කළා. නමුත් එ​ම උපවාසයට ඉන්දියන් සාම සාධක හමුදාවේ නිසි ප්‍රතිචාරයක් ලැබුනේ නෑ. අවසානයේදී උපවාසය හේතුවෙන්ම 1988 අප්‍රේල් 19 වන දින ඇය මිය යනවා.

 

2000 වර්ෂයේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය මඟින් නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට උත්සාහ ගත්තා. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයෙනුත් යම් සහයක් ලැබුණා. එම ව්‍යවස්ථාව මගින් ෆෙඩරල්කරණය හරහා රට බෙදීමේ අවස්ථාව වැඩි වෙන බව කියමින් මඩිහේ පඤ්ඤාසීහ මහා නායක ස්වාමීන් වහන්සේගේ නායකත්වයෙන් රට පුරා විරෝධතා දියත් වෙන්න පටන් ගත්තා. ​ඒ විරෝධතාවල උච්චතම අවස්ථාව වුණේ හැඩිගල්ලේ විමලසාර හිමියන් උපවාසයක් ආරම්භ කිරීම. ඒ උපවාසය වෙනුවෙන් චන්ද්‍රිකා රජයේ මහින්ද රාජපක්ෂ වැනි මන්ත්‍රීවරුන් පවා සහාය දෙන තත්ත්වයක් ඇති වුණා. අවසානයේදී මේ විරෝධතාවය නිසාම එක්සත් ජාතික පක්ෂය තමන්ගේ සහයෝගය ඉවත් කර ගනු ලැබුවා. ඒ නිසා ව්‍යවස්ථාව සම්මත වීම සිදුකර ගැනීමට අපහසු වුණා. අද වෙනකොට හැඩිගල්ලේ විමලසාර හිමියන් ජාතික හෙළ උරුමයේ ක්‍රියාකාරී භික්ෂූන් වහන්සේ නමක් .

 

2005 වර්ෂයේ දී චන්ද්‍රිකා බණ්ඩාරනායක සුනාමි සහන මණ්ඩලය පිහිට වීමේ යෝජනාවක් ගෙනාවා. නමුත් මේ සහන මණ්ඩලය මගින් එල්ටීටීඊ සංවිධානයට යම් බලතල ලැබීමක් සිද්ධ වුණා. මේ මේ පිළිබඳ විවිධ අංශ වලින් විරෝධතා එල්ල වුණා.අවසානයේදී ඕමල්පේ සෝභිත ස්වාමීන්වහන්සේ දළදා මාලිගාව තුළ මාරාන්තික උපවාසයක් ආරම්භ කළා. ඒ සමඟම රට පුරා විරෝධතා ඇති වෙන්න පටන් ගත්තා. මේ නිසා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය තමන්ගේ අදහස ඉවත් කරගත්තා.

 

ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේලා දළදා මාලිගාවේ සිදුකරන උපවාසයට සමගාමීව දඹර අමිල ස්වාමීන් වහන්සේ කොළඹ දී උපවාසයක් ආරම්භ කළා. බොහෝ අය නම් කිව්වේ සෝභිත හාමුදුරුවෝ ජාතික හෙළ උරුමය නියෝජනය කර​න නිසා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් දඹර අමිල හාමුදුරුවෝ උපවාසය ආරම්භ කළා කියලා. ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ උපවාසය ආරම්භ කිරීමත් එක්ක දඹර අමිල හාමුදුරුවන්ගේ උපවාසයත් නතර වුණා.

 

2010 වර්ෂයේ දී විමල් වීරවංශ මන්ත්‍රීවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කළා. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා ශ්‍රී ලංකාව වෙනුවෙන් පත් කළ විශේෂ උපදේශක කමිටුව ඉවත් කරගන්නා ලෙස ඉල්ලීමක් කරමින්. නමුත් අවසානයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම පරිදි උපවාසය අවසන් කරනු ලැබුවා. මේ උපවාසය පිළිබඳව විවිධ හාස්‍ය ජන සමාජ මාධ්‍ය තුළ නම් තාමත් සැරිසරනවා.

2017 වසරේදී විමල් වීරවංශ මහතා නැවත උපවාසයක් ආරම්භ කළා. ඒ විදේශ ගමන් බලපත්‍ර සම්බන්ධ සිද්දියකට ඔහු අත් අඩංගුවට පත් වෙලා ඇප ලබා ගැනීම දිගින් දිගටම ප්‍රතික්ෂේප වීම නිසා. මෙය​ට විරෝධය පෑමක් විදියට සිරගෙය තුළ ඔහු උපවාසයක් ආරම්භ ක​ළත් අවසානයේදී මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම මත එය නතර කෙරුණා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here