සිංහලේ අවසාන රජු ඇත්තටම දුෂ්ට පාලකයෙක්ද? නැත්නම් විකෘති කළ ඉතිහාසයක ගොදුරක්ද? – Saru News Media

0
5

රජෙක් සහ රාජ පාලනයක් කියන්නේ සුන්දර අත්දැකීමක් නෙමෙයි. රාජ පාලනයක් යටතේ රජුට පක්ෂපාතී කණ්ඩායම් වලට බොහෝ වාසි සැලසෙනවා. ඒ වගේම රජුට විරුද්ධ වන අයට අත් වෙන ඉරණම ඉතාම ශෝ​චනීයයි. ඉතින් ඒ රාජ ක්‍රමයේ සමහර කොටස් අමානුෂික හින්දා පසුකාලෙක මිනිස්සු එකතු වෙලා තමුන්ට නායකයෙක් තෝරාගන්න තරමට දියුණු වුනා. අපේ රටේ අවසාන රජතුමා වුනේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා. ඉතින් ඒ රජතුමා ගැන අපි වෙනස්ම කෝණයකින් තොරතුරු ටිකක් හොයලා බලමු.

 

ලංකාවේ දැනට දේශපාලනයේ මහපුටු සියල්ලම අවුරුදු 70 තරම් වයස්ගත සීයලාගෙන් පිරිලා තියෙනවා. ඒත් ලංකාවේ අවසාන රජතුමා 1798 දී රජ වෙද්දි නාඹර කොළු ගැටයෙක් වුනා. රාජාධි රාජසිංහගෙන් පස්සේ රජවෙන්න වෙනත් සුදුස්සෙක් හිටියා. ඒ වුනාට එවකට අමාත්‍ය මණ්ඩලයේ උන්න ජ්‍යෙෂ්ඨ​ම කෙනෙක් වෙච්චි පිළිමතලව්වේ දිසාව​ගෙ කැමැත්ත හිමි වුනේ මේ කන්නසාමි පුත්‍රයාට. කන්නසාමි රජකම​ට පත්වුනේ අඩු වයසින් වුනත් ඔහු අඛණ්​ඩව අවුරුදු 17ක් රටේ රජකම දැරුවා. පිළිමතලව්වේ පසුකලෙක තමුන් හෝ තමුන්ගේ පරපුරක් රජකරවන්න බලාගෙන බබෙක් වගේ අවුරුදු 18ක කන්නසාමිව ගෙනාව කියලත් ඉතිහාසයේ ​කතාන්දර තියෙනවා. කොහොම වුනත් 18දි පුටුවට ආවත් ලොකු ගැටුම් ගොඩකට මූ​ණදෙන්න කන්නසාමි හෙවත් අවසාන රජු ශ්‍රී වික්‍රම රාජසිංහට සිදු වුනා.

 

නායක්කර් රජ පරපුර ඉන්දියාවේ විජයනගර් රජ පෙළපතටත් නෑකම් කියන බොහොම ප්‍රබල එකක්. ඉන්දියාවේ මදුරෙයි වල තවමත් තියෙන සිද්ධස්ථාන වගයක් තියෙනවා, ඒවා හදාල තියෙන්නෙත් නායක්කර් රජවරුන් විසින්. මේ නායක්කර් වරුත් ​වෙල්ලෝරයේ සහ මදුරෙයි වල දෙජාතියක් හිටියා. මේ අපේ අවසාන රාජසිංහගේ පෙළප​තේ මුල් කාලීන නායක්කර්වරුන් හදාපු බලකොටුවක් තාමත් ඉන්දියාවේ වෙල්ලෝරයේ තියෙනවා. අවසාන කාලේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා හිටියෙත් මේ බලකොටුවේම තමයි.

 

රාජසිංහ රජතුමාට සිය කිරුළ අහිමිවෙන්න මූලික වශයෙන්ම ජෝන් ඩොයිලි හේතු වුනා. දකුණු පළාතේ හිටි හිමිවරුන්ගෙන් සිංහල සහ පාලි භාෂාව ඉගෙනගත් ජෝන් ඩොයිලිට ඒ දැනුම එක්ක සිංහල නායකයින් යුද්ධ වලින් තොරව නම්මාගන්නට හැකි වුනා. අනෙක් පසින් එවකට උඩරට රාජධානිය තුල සිටි නිලමේවරුන්ට වෙනදාට වඩා වගාවන් ආදියෙන් ආදායමක් ලැබුනා. ඒ සමගම නිළමේවරුන්ට තරුණ රජු ගැන ඉරිසියාවක් වගේම ඔහු ඉවත් කරන්න උවමනාවකුත් තිබුනා. ඔය කාරුණු කාරණා ඔක්කෝම එක්ක අවසානයේ ශතවර්​ෂ ග​ණනාවක් රැකගෙන හිටපු සිංහලයාගේ රාජධානිය සුද්දාට සටනකින් තොරවම ඩැහැගන්නට ලැබුනා. මේ ඩොයිලි ගහපු උප්පරවැට්ටි ගැන පසුකාලීන ඇතැම් සුද්දන් පවා එච්චර සතුටු වුනේ නැහැ. රජු සිටියදීම සුද්දාට අවශ්‍ය දේ කරගන්න තිබුනා කියලාත් පස්සේ කාලෙක සුද්දෝ කියලා තිබුනා.

 

පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රිසි යන තුන් ජාතියටම උඩරට යටත් කරගන්නට උවමනාකම තිබුනා. එයින් ලන්දේසීන් වඩාත් මිත්‍රශීලි ලෙස සිය රාජකාරිය කරගන්නට සමත් උනා. ඉංග්‍රීසින්ට වදයක් වූ මේ උඩරට කොටස හරහා කොළඹ සිට මඩකලපුවට පාරක් හදන්නට ෆෙඩ්රික් නෝත් ආණ්ඩුකාරයාට ඕනි වුනා. එහෙත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු එයට විරුද්ධ වුනා. 1803 දී ප්‍රබල ඉංග්‍රීසි හේවායෝ පන්සියයකට ආසන්න පිරිසක් උඩරට රාජසිංහට පහර එල්ල කරන්නට උඩරටට ගියා. එහෙත් රාජසිංහ රජු ඔවුන් දරුණු පරාජයකට ලක් ක​ළේ අපකීර්තිමත් සලකුණක් ඉංගිරිසි හමුදාවන්ට අත්පත් කරමින්. ඒ හමුදාව ප්‍රංශ හමුදාවන්ට එරෙහිව සටන් ක​ළ දක්ෂ හමුදාවක් වුවත් තරුණ කන්නසාමි කුමාරයාට පැරදුනා. එයින් පසු ඉංග්‍රීසිහු කලක් යනතෙක් නැවත සටනකට ආවේ නැහැ.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here