ලංකා ඉතිහාසයේ මහා රණශූරයා සීතාවක රාජසිංහ රජුගේ මරණයේ අභිරහස – Saru News Media

0
10

පළවෙනි රාජසිංහ එහෙමත් නැත්නම් සීතාවක රාජසිංහ රජුව හැඳින්වෙන්නේ මේ ලක් ​පොළවෙන් බිහිවුණු විශිෂ්ට​ම රණශූරයෙක් හැටියටයි. ආසියානු බිමකදී පරංගින් ලැබූ දරුණුම පරාජයන් උරුම කර දෙමින් යුද ශක්ති​ය අතින් ඉතා බලවත්​ව හිටපු රාජසිංහ රජතුමාගේ වීරත්වය ඔහුගේ සතුරන් පවා නොපැකිළිව පිළිගත්තා. නමුත් අවසානයේ ඔහුට මියයන්​න වෙන්නේ සාමාන්‍ය උණ පඳුරක කටුවක් පාදයේ ඇනීමෙන්. මේ වගේ ශක්තිමත් පුද්ගලයෙක්ව මරු තුරුළට යවන්න උණ කටුවකට පුළුවන් වුණේ කොහොමද කියන එක අදටත් බොහෝ දෙනෙක්ට තියන ගැටළුවක්. ඒ ගැටළුවට පිළිතුරුත් බොහොමයක් තියනවා. මේ කියන්න යන්නෙ අන්න ඒ විදිහට සීතාවක රාජසිංහ රජුගේ මරණය සිදුවූ ආකාරය ගැන කියැවෙන අප්‍රකට සහ ප්‍රක​ට කතා ගැනයි.

 

සීතාවක රාජසිංහ රජුගේ මරණය සිද්ධ වුණේ ඔහුට වයස 59දී කියලයි පැරණි මූලාශ්‍රවල සඳහන් වෙන්නෙ. සමහර තැන් වලදි මේ වයස 58ක් හැටියටත් සඳහන් වෙනව. උඩරට රාජධානියේ පළමුවෙනි විමලධර්මසූරිය නමින් රජවුණු කොනප්පු බණ්ඩාරත් එක්ක සටනට රාජසිංහ රජතුමා පිටත් වෙනව. මේ දෙපිරිස අතර බලන ප්‍රදේශයේදි සටනක් ඇවිලෙනව. මේ සටනින් රාජසිංහ රජතුමාගේ හමුදාවට අත්වෙන්නෙ පරාජයක්. මේ පරාජයෙන් ශෝකයටත් ලැජ්ජාවටත් පත්වෙලා පසු බසිමින් හිටපු රාජසිංහ රජතුමාත් පිරිසත් පෙතංගොඩ උයනට ඇතුළු වෙනවා. මේ උයනේ අසු පිටින් ගමන් කරද්දි මඩ වගුරක් මග හරින්නට යන රජතුමා අසු පිටින් වැටෙනව. මේ වැටිල්ලෙදි රාජසිංහ රජතුමාගෙ මිරිවැඩි සඟලත් පසාරු කරගෙන යන්න ඇනෙන උණ පඳුරක කටුවක් නිසා රජතුමා දුර්ව​ල වෙනව. නොබෝ දිනකින්ම ඔහු මිය යනව. ‘මන්දාරම්පු​ර පුවත’ නම් ඉතිහාස කාව්‍ය ග්‍රන්ථ​යේ සඳහන් වෙන මෙන්න මේ කතාව තමයි රාජසිංහ රජතුමාගේ මරණය ගැන වැඩිපුරම ප්‍රචලි​ත කතාව වෙන්නෙ.

 

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ අද වෙනකොට පවතින මේ පෙතංගොඩ උයනේ උණ පඳුරුවල ශේෂයන් අදටත් දැකගන්න පුළුවන්. මේ උණ පඳුරු ලංකාවෙ සාමාන්‍යයෙන් දකින්න ලැබෙන උණ පඳුරුවලට වඩා වෙනස් කටු සහිත පෙනුමක් තියන ඒවා වෙනව. මේවා දකුණු ඉන්දියාවෙන් මෙරටට ගෙන්නලා පෙතංගොඩ උයන අලින්ගෙන් ආරක්ෂා කරන්න තනල තියපු දිය අගල් වලට පිටතින් හිටවල තියනවා. කොහොම නමුත් මේ උණ පඳුරුවල කටු මාරාන්තික විෂය කියා නම් කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ. එහෙනම් රජතුමා මරණයට පත් වුණේ කොහොමද?

 

රාජසිංහ රජතුමාගේ මරණය සම්බන්ධ එක් ප්‍රකට මතයක් වෙන්නේ මේ උණ පඳුරු අස්සේ ලැගුම් අරන් හිටපු විෂැති නාගයෙක් දෂ්ට කිරීමෙන් රජු මිය ගියාය කියන එකයි. රාජසිංහ රජු වගේ බලවන්තයෙක් නිකම්ම නිකම් උණ කටුවක් ඇනිලා මිය ගියාය කියන එක මදි පුංචිකමක් නිසා ජනතාව මේ නාග දෂ්ටනය ගැන කතාව ගොතන්න ඇතියි කියලත් මතයක් තියනවා. කොහොම වෙතත් ඒ කතාවට අනුව නාගයෙක් දෂ්ට කිරීමෙන් පස්සෙ එයට ප්‍රතිකාර කරන්නට සර්ප වෙදෙක්ව කැඳවලා තියනව. මේ වෙදා මහනුවර ප්‍රදේශයේ ඉඳන් එද්දි රජතුමා මරණයට පත්වෙලා අහවරයි කියලයි ඒ කතාවල සඳහන් වෙන්නෙ.

 

සීතාවක රාජසිංහ රජු උණ කටුව ඇනීමෙන් සිදු වූ අනතුරෙන් මිය ගියා නොවේය, ඔහුව උපක්‍රමිකව මරණයට පත් කළාය කියන කතාවට හේතු සපයන්නේ එක්තරා පෙම් කතාවක්. මේ පෙම් කතාව ඇති වෙන්නේ රාජසිංහ රජතුමාගේ මුණුබුරෙක් වුණු රාජසූරිය කුමාරයා සහ රාජසිංහ රජතුමාට සේවය සපයපු දොඩම්පෙ ගණිතයා කියන යකැදුරාගේ දුවත් අතරයි. අතිශය සුන්දර රූප සම්පත්තියකට උරුමකම් කියපු ​මේ තරුණිය දවසක් දිය නාමින් ඉඳිද්දි රාජසිංහ රජතුමාගෙ දර්ශනයට ලක්වෙනව. වහාම ඇය කෙරෙහි හිත ඇදී ගිය රාජසිංහ රජතුමා කරන්නේ තමන්ගේ තනි කැමැත්තට ඇයව අන්ත:පුරය වෙත අරන් යන එක (මේ ගැන පරස්පර විරෝධී කථා තියනවා) රජතුමාට විරුද්ධ වෙන්න බැරි නිසා දොඩම්පේ ගණිතයත්, රජු​ගේ මුණුබුරා වන රාජසූරි​යත් ඉන්නේ වෛරයෙන්. මේ වෛරය නිසා ඔවුන් උපක්‍රමශීලීව රජතුමාගේ මරණයට හවුල් වෙන්න පස්සෙ කාලෙක තීරණය කළා කියල කියනව.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here