වකුගඩුවක් විකුණලා හරි අලුත්ම අයිෆෝන් 11 එක ගන්න ඕනද? එහෙමනම් ඊට කලින් මේ විස්තර කියවන්න – Saru News Media

0
9

ඇපල් ලෝලියෝ කියන විදියට මේ ලෝකේ ඉන්නේ මිනිස්සු වර්ග දෙකයි. එකක් ඇපල් අයිෆෝන් පාවිච්චි කරන උදවිය. අනෙක් කොටස ඇපල් අයිෆෝන් පාවිච්චි නොකරන උදවිය. එහෙම කියනකොටම හිතාගන්න පුළුවන්නේ අයිෆෝන් එකක් තමන් සතුව තියෙන එක කොයි තරම් සමාජ තත්ත්වයක්ද කියලා ඇපල් ලෝලීන් සලකනවද කියන එක. හැබැයි ඒකේ පොඩි ඇත්තකුත් තියෙනවා. එක්තරා කාලෙකදී ස්මාට්ෆෝන් කියලා දෙයක් සමාජගත කළේ අයිෆෝන් එක. එතකොට ඔය මෑතකාලීනව ආපු Notch ඩිසයින් එක වගේ ස්මාට්ෆෝන් එකේ පෙනුමට අදාළ විප්ලවීය වෙනස්කම් මුලින්ම ලෝකෙට ගෙනාවෙත් ඇපල් අයිෆෝන් එක. ඉතින් ඇපල් අයිෆෝන් එකක් පාවිච්චි කරනවා කියන්නේ පාවිච්චි කරන්නාට ලැබෙන වෙනස්ම විදියේ සමාජ තත්ත්වයක් කියන එක අපිට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ පිළිගන්න සිද්ධ වෙනවා. ඉතින් මේ නිසා තමයි ඇපල් අයිෆෝන් කොයි තරම් විකාර විදියට ගණන් වැඩි වුනත්, මිනිස්සු අලුත්ම අයිෆෝන් එක ගන්න පොරකන්නේ.

හරි, මේ වෙනකොට ඇපල් ලෝකේ කැළඹිලා තියෙන්නේ අලුත්ම iPhone 11 එකත් එක්ක. ඉතින් ඔබත් ඇපල් ලෝලියෙක් නම්, iPhone 11 හරි iPhone 11Pro හරි iPhone 11 Pro Max හරි ගන්න ඕන ඇයි කියන එකට කරුණු කාරණා ටිකක් තමයි මේ සඳහන් කරන්න යන්නේ!

 

ගොඩක් දෙනෙක් එක පාරටම කියන්නේ අයියෝ අර පරණ තඩි notch එකත් එක්ක නේද iPhone 11 ඇවිත් තියෙන්නේ කියලා. හැබැයි අමතක කරන්න එපා, ඔය notch ඩිසයින් එක ලෝකෙට ගෙනාවෙත් අයිෆෝන් එකම තමයි. iPhone 11 එක අඟල් 6.1 ක Liquid Retina IPS LCD තිරයක් ඉදිරිපත් කරනකොට, iPhone 11 Pro Max එක අඟල් 6.5 ක Super Retina XDR OLED තිරයක් ලබාදෙනවා. හැබැයි iPhone 11Pro එකේ Super Retina XDR OLED තිරය අඟල් 5.8යි.

අයිෆෝන් එකේ තියෙන ඉහළ කොලිටියේ නිමාව මෙතනදීත් වෙනසක් වෙලා නැහැ. විශේෂයෙන්ම පසුපස වීදුරු පැනලය සහ කැමරා පිහිටුවලා තියෙන ආකාරයත් ඇපල් ලෝලියෙක්ට මේ ගැන ලොකු ආකර්ෂණයක් ඇති කරනවාට සැකයක් නැහැ. ඒ වගේම තිරයේ තියෙන සුපැහැදිලිතාවය සහ දීප්තිමත් වර්ණ දැක්වීම වෙනත් ස්මාට්ෆෝනයකට ඉරිසියා හිතෙන තරම්.

 

ස්මාට්ෆෝන් එකක බලවන්ත කම තීරණය වෙන්නේ ඒකේ දෘඩාංග, මෙහෙයුම් පද්ධතිය සහ ඒ දෘඩාංග/මෘදුකාංග පද්ධතිය ස්මාට්ෆෝන් එකෙන් භාවිතා කරන විදිය අනුව. ඉතින් අයිෆෝන් 11 එකේ දෘඩාංග ඉහළ මට්ටමක තිබුණත්, විශේෂත්වය වෙන්නේ මේ දෘඩාංග වල උපරිම හැකියාව අයිෆෝන් 11 උපාංගය ලබාගැනීම. මේක සාමාන්‍යයෙන් අයිෆෝන් එකක් පාවිච්චි කරන කෙනෙක් දන්න දෙයක්. උදාහරණයක් විදියට කිවුවොත්, iPhone 11, 11 Pro, 11 Pro Max කියන උපාංග තුනේ හැම සංස්කරණයකම රැම් මතකය ගිගාබයිට් 4 යි. ඒත් දැන් එන මධ්‍යම පරාසයේ ස්මාට්ෆෝනයක වුනත් ලේසියෙන්ම ගිගාබයිට් 4 ක රැම් එකක් තියෙනවා. ඒත් ඇපල් අයිෆෝන් 11 එක පාවිච්චි කරනකොට ලැබෙන වේගය සහ කාර්‍යක්ෂමතාවය එක්ක, ගිගාබයිට් 4 ක රැම් මතකයක් හොඳටම ප්‍රමාණවත් කියලා දැනෙනවා. හිතලා බලන්න, කවද්ද අන්තිමට අයිෆෝන් එකක් ස්ටක් වුනේ?

මීට අමතරව ගත්තොත් මේ අයිෆෝන් 11 සංස්කරණ තුනේ අභ්‍යන්තර මතක ධාරිතා කීපයක්ම තෝරගන්න තියෙනවා. ඒවා ගිගාබයිට් 64 ඉඳලා ගිගාබයිට් 512 දක්වා වෙනස් වෙනවා. එතකොට නැනෝමීටර් 7 ක Apple A13 Bionic Hexa-core ප්‍රොසෙසරයක් සහ කෝර් 4 ක Apple ග්‍රැෆික් ප්‍රොසෙසරයක් මේ හැම එකකම තියෙනවා. බාහිර මතකය එකතු කරන්න හැකියාවක් නැහැ. විශේෂයෙන්ම මේ ප්‍රොසෙසරයේ බලවන්තකම නිසා අයිෆෝන් 11 උපාංග දැනට වෙළෙඳපොළේ තියෙන ප්‍රබලම ඉහළ පරාසයේ ස්මාට්ෆෝන් එක්ක තරග කරනු ඇති.

 

ඇපල් අයිෆෝන් වල මෙහෙයුම් පද්ධතිය වෙන iOS එකේ යාවත්කාලීනයක් එනවා කියන්නේ ඇපල් ලෝලීන්ට නත්තල් එනවා වගේ සීන් එකක්. හැබැයි ඒකට හොඳ හේතුත් තියෙනවා. උදාහරණයක් විදියට කිවුවොත් අයිෆෝන් 11 එකේ එන නවතම iOS 13 මෙහෙයුම් පද්ධතිය මගින් සුවිශේෂී හැකියාවන් ගණනාවක්ම අයිෆෝන් එකට ලබාදීලා තියෙනවා. දැන් ඇපල් මැප්ස් පාවිච්චි කරන කෙනෙක්ට වෙනත් කෙනෙක් එක්ක තමන් ඉන්න ලොකේෂන් එක විතරක් නෙවෙයි, තමන්ට ඒ කෙනා ඉන්න තැනට එන්න යන ඇස්තමේන්තුගත වෙලාවත් ෂෙයාර් කරන්න පුළුවන්. එතකොට ඕඩියෝ ෂෙයාරින් පහසුකම් ඉහළ මට්ටමකට වැඩි දියුණු කෙරිලා තියෙනවා. ඇපල් ස්මාට් ඩිජිටල් සහකරු වෙන සිරී තවත් දියුණු වෙලා තියෙනවා. ඡායාරූප තැන්පතුව එහෙමත් තව දියුණු කෙරිලා, ස්මාට් ෆොටෝ ප්‍රිවීව් හැකියාවක් එකතු කෙරිලා, ඇනිමේෂන් එහෙමත් එකතු කරලා තියෙනවා. මීට අමතරව පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සහ අයිෆෝන් එකේ සහ දත්ත වල ආරක්ෂාව සම්බන්ධයෙනුත් ඉහළ වැඩිදියුණු කිරීම් ලබාදීලා තියෙනවා. මීට අමතරව මැසේජින්, රිමයින්ඩර්ස් වගේ හැම දෙයකම කැපිලා පේන දියුණුවක් තියෙනවා අලුත් iOS 13 යාවත්කාලීනයත් එක්ක.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here