සුදු වෙන්න ගිහින් ලෙඩ වෙනවද – Saru News Media | Lady | Women | Lifestyle | Health | Beauty

0
5

පිරිසිදු සමක්, ලස්සන පැහැපත් සමක් අප බොහෝ දෙනකු ඉතාමත් ප්‍රියතාවයක් දක්වන මාතෘකාවකි. නමුත් ඔබ මෙලෙස සුදු සමක් ඇතිකර ගැනීමට භාවිතා කරනු ලබන ආ‍ලේපනයන් කොතෙකුත් දුරට නියමිත ප්‍රමිතියෙන් යුක්ත ද ඔබට කොතෙක් දුරට ගැළපෙන්නේ ද යන්න සොයා බැලුවේද ? ඇත්ත වශයෙන්ම අපට අවශ්‍ය වන්නේ සුදු පැහැති සමක්ද? නිරෝගී සමක්ද?


මෙලෙස සුදු පැහැති සමක් පැවතීම මගින් සමාජයේ තැනක් ලබා ගැනීම, පෞරුෂත්ව වර්ධනය කර ගැනීමටත් හැකි වේ යැයි වර්තමානය වන විටදී කාන්තාවන් පමණක් නොව පුරුෂයින්ගේද මතය වී ඇත.

ශ්‍රී ලංකාව තුළ මෙලෙස ඇති වී ඇති විවිධ වූ ආ‍ලේපන භාවිතා කිරීම මගින් සුදුවීමේ ප්‍රවණතාවය පිළිබඳව බැලීමේදී එය සමාජීය හා සංස්කෘතික යන්න වූ දෙකෝණයෙන්ම බැලිය යුතුය.
මෙම ගැටලුව සංස්කෘතිකමය වශයෙන් ගතහොත් අප ජීවත් වන්නේ නිවර්තන කලාපීය රටකය. මෙහිදී අප හිරුඑළියට නිරාවරණය වීම අධික වේ.

මේ නිසාම අපට හිමිවන්නේ බොහෝවිට අඳුරු සමකි. හිරු එළිය අඩු ශීතාධික රටවල මිනිසුන්ගේ සම අනුවර්තනය නිසා ස්වභාවිකව සුදුපැහැ වේ. නමුත් මෑතක් වනවිටදී බටහිර මිනිසුන් සම කළුකර ගැනීම සඳහා විවිධාකාරයේ උපක්‍රමයන් යොදා ගනී.

සම සුදු හෝ කළු වන්නේ ඇයි?

මේ සඳහා ප්‍රවේණික හේතූන් බලපානවා. ඇතැමුන් උපතින්ම ඇලීයි. එනම් සම්පූර්ණයෙන්ම සුදු පැහැතිය. විවිධ රෝග මත සුදු කෙනෙකුගේ සම කළු පැහැ වන අවස්ථාද ඇත. පුද්ගලයෙකුගේ සම කලු හෝ සුදු වීමට එම පුද්ගලයාගේ ශරීරයේ ඇති මෙලනින් ප්‍රමාණය හේතු වේ.

මෙලනින් ප්‍රමාණය වැඩිවන විටදී සම අඳුරු පැහැ වේ. මෙම මෙලනින් මගින් අපගේ සම ආරක්ෂා කිරීම වැදගත්ම දෙයයි. යුරෝපියයන් අතර සමේ පිළිකාවන් අධිකය. මෙයට හේතුව ඔවුන්ට ස්වභාවයෙන්ම මෙලනින් අඩු සමක් හිමිවීමයි. මෙහිදී අධිකව හිරුඑළියට නිරාවරණය වීම මගින් සමේ පිළිකා ඇතිවීම ස්වභාවිකය.
සම සුදු කර ගැනීමට නොයෙකුත් ආ‍ලේපනයන් අද වනවිටදී වෙළෙඳ‍පොළේ බහුලව ඇත. මේ සඳහා හොඳ ඉල්ලුමක්ද පවතී. ශ්‍රී ලංකාව තුළ ඇති එවැනි ආ‍ලේපන වර්ග 30 ක් පමණ පරීක්ෂණයට පත් කිරීමෙන් අනතුරුව එහි රසදිය නැතහොත් මර්කරි අඩංගු බවට කරුණු තහවුරු විය. මෙම රසදිය මගින් සමේ නිපදවනු ලබන මෙලනින් නිපදවීම පාලනය කරනු ලැබේ.
මෙමගින් ඇතිවන අතුරු ආබාධයන්ද විශාල ප්‍රමාණයක් ඇත.

සමේ ලප මතුවීම
කැසීම
වැනි කෙටිකාලීන ගැටලු මෙන්ම ස්නායු ආබාධ වැනි දීර්ඝකාලීන ගැටලුද ඇති වේ.
සාමාන්‍යයෙන් ආ‍ලේප වර්ග නිෂ්පාදනයේදී රසදිය සුළු ප්‍රමාණයක් යොදා ගනී. නමුත් ගැටලුව වන්නේ නිෂ්පාදකයින් වැරදි ආකාරයට මෙම ප්‍රමාණයන් හිතාමතාම වෙනස් කිරීමයි. මෙමගින් සම සුදුවීම වේගවත් කිරීමට උපකාරී වේ. ඇතැම් රටවල ‍ලේබල්වලින් රසදිය නම වෙනස් කර වෙළෙඳ‍පොළට එවනු ලැබේ.
මෙවැනි නිෂ්පාදන ගැනීමට ප්‍රථම කළ යුතු දේ

හොඳින් ‍ලේබලය බලන්න. එය එසේ වුවත් ඇතැම් විට රසදිය අඩංගුද නැද්ද යන්න සොයාගැනීමට නොහැකි වන අවස්ථා ඇත. මන්ද බොහෝවිට නිෂ්පාදකයින් ඒ බව ‍ලේබලයේ සඳහන් නොකරයි. වෙනත් භාෂාවලින් යුතු ‍ලේබල්වලින් ඇති ආ‍ලේපනවල ‍ලේබල් කියවා ගැනීමට නොහැකි වීමද පාරිභෝගිකයන් අපහසුතාවයට ලක්වන අවස්ථාවකි.
මෙවැනි යම් නිෂ්පාදනයක් පිළිබඳව ගැටලුවක් වේ නම් ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය සමග සම්බන්ධ වීමෙන් එම ගැටලුව නිරාකරණය කරගත හැක. දුරකථන අංක 0112686143

ඉතාමත් කෙටි කලකින් සුදු පැහැවීමට ඔබ කැමැති මුත් එහි අඩංගු ද්‍රව්‍ය මගින් ඔබට සිදුවිය හැකි අතුරු ආබාධයන් පිළිබඳවත් සැලකිලිමත් විය යුතුමය.
කවුරුන් කෙසේ කීවද සමේ පැහැය කුමක් වුවද වඩාත් වටින්නේ නිරෝගි බවයි. එය ඔබ සතු දෙයකි

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here