LTTE සංවිධානයේ ඉතිහාසය – 2 කොටස – Saru News Media

0
7

LTTE සංවිධානයේ ඉතිහාසය ගැන කලින් ලිපියකින් අපි කතා කළා. ඉතින් අපි කතාව නැවැත්තුවේ 1975 ඇල්ෆ්‍රඩ් දොරෙයප්පා ඝාතනය වීම කියන සිද්ධියෙන්. ඉතින් අද එතන ඉඳලා ඉස්සරහට කතා කරමු. 

1972 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දීමත් එක්ක දිගින් දිගටම දෙමළ ජනතාවට ලැබුණු කුඩම්මාගේ සැලකිලි බහුතර දෙමළ ජාතික ජනතාවගේ කලකිරීමට හේතු වෙලා තිබුණා. විශේෂයෙන් දෙමළ දේශපාලන පක්ෂ වල ක්‍රියාකාරිත්වයත් බහුතර දෙමළ ජනතාවගේ අප්‍රසාදයට හේතු වෙලා තිබුණා. ඉතින් මේ පසුබිම දෙමළ ජාතික සන්නද්ධ කණ්ඩායම් ප්‍රයෝජනයට ගත්තා. දෙමළ ජනතාවට ගෞරවනීය තත්වයක් ලබාගැනීම වෙනුවෙන් ඔවුන් සන්නද්ධ ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වුණා. ඉතින් දොරෙයප්පා ඝාතන සිද්ධිය වෙද්දීත්  දෙමළ නව කොටි (TNT) සංවිධානයට හරිහමන් දේශපාලන දැක්මක් තිබුණේ නෑ. ඒ වගේම මුල්‍ය ශක්තියෙනුත් ඉතාම පහළ තැනක තමයි ඔවුන් හිටියේ. හැබැයි දොරෙයප්පා ඝාතනයත් එක්ක දෙමළ නව කොටි සංවිධානයට ලොකු ප්‍රසිද්ධියක් ලැබුණා. ඒ වගේම ඒ ඝාතනයත් එක්ක ශ්‍රී ලංකා පොලීසියට නියෝග නිකුත් වුණා ඒ සංවිධානයේ සියල්ලන් අත් අඩංගුවට ගන්න. ඉතින් ඒකට මුහුණ දෙන්න වගේම සංවිධානයක් විදිහට ඉස්සරහට යන්න 1976 දී නව දෙමළ කොටි සංවිධානය විසුරුවලා දෙමළ ඊළාම් විමුක්ති කොටි නමින් සංවිධානයක් පිහිටුවා ගන්නවා. ඒ 1976 මැයි 5 වෙනිදා. ඉතින් වඩාත් විධිමත් සංවිධානයක් විදිහට එල්ටීටීඊ එක ලොකු දුරක් ආවේ ඒ මුලින් ඇති කරගත්තු විධිමත් සංවිධාන සැලැස්ම නිසායි. ඉතින් මේ දෙමළ ඊළාම් විමුක්ති කොටි, ඒ කියන්නෙ Liberation Tigers of Tamil Eelam (LTTE) සංවිධානය ආරම්භ කරද්දී ඒකෙ නායකයා විදිහට පත් වුණේ උමා මහේෂ්වරන්. ප්‍රභාකරන් හමුදා ප්‍රධානියා විදිහටයි පත් වුණේ. ඉතින් ඔවුන්ගේ ඒකායන අරමුණ වුණේ දෙමළ ඊළාම් නමින් වෙනම රාජ්‍යයක් පිහිටුවා ගැනීමයි. 

දේශපාලන වශයෙන් දෙමළ ජනතාවගේ ඉල්ලීම් ඉටු කරන්නට සිංහල දේශපාලන නායකයින් අවස්ථා ගණනාවකම පොරොන්දු වුනත් ඒ පොරොන්දු යථාර්ථයක් කරන්නට ඒ දේශපාලන නායකයින් ක්‍රියා කලේ නෑ. ඒ වගේ අපේක්ෂාභංග වුනු පරිසරයක තමයි 1976 වෙද්දී දෙමළ සන්නද්ධ කණ්ඩායම් රාශියක් බිහි වෙලා තිබුණේ. දෙමළ ජනයාට සමාන පිළිගැනීමක්, දෙමළ භාෂාවට සමාන පිළිගැනීමක් ඔවුන් අපේක්ෂා කලත් බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම, ඩඩ්ලි-චෙල්වනායගම් ගිවිසුම කියන අවස්ථා වලදී වත් ඒ අපේක්ෂා ඉෂ්ට වුණේ නෑ. ඒ හේතුවෙන් දෙමළ දේශපාලන පක්ෂ සහ දෙමළ සන්නද්ධ කණ්ඩායම් එකතු වෙලා එක වේදිකාවකට එකතුවෙලා සමුළුවක් පවත්වලා දෙමළ ඊළාම් රාජ්‍යයක් බිහි කර ගැනීම වෙනුවෙන් සම්මුතියක් ඇතිකරගන්නවා. ඔන්න ඔය සම්මුතිය ඇති කර ගැනීමෙන් පස්සේ තමයි බහුතර දෙමළ ජනතාව ඊළමක් වෙනුවෙන් යම් හෝ අදහසක් ඇති කර ගත්තේ. ඒ සමුළුවේ දී ඊට සම්බන්ධ වුනු සියලු සංවිධාන දෙමළ ජනතාවගෙන් තමන්ගේ නිදහස සඳහා සටන් කිරීමට ඉදිරියට එන ලෙස ඉල්ලීමක් පවා කළා. ඉතින් ඒ සමුළුව විශාල බලපෑමක් කළා ශ්‍රී ලංකාවේ දශක තුනක යුද්ධයක් ඇති වෙන්න. 

1976 LTTE සංවිධානය බිහි වුණේ උමා මහේෂ්වරන්ගේ නායකත්වයෙන් කියලා කලින් කිව්වනේ. ඉතින් නායකත්වය ඔහුට හිමි වුණේ අධ්‍යාපන මට්ටමෙන් වගේම ඉංග්‍රීසි කුසලතාවෙනුත් උමා මහේෂ්වරන් කැපී පෙනුන නිසා. හැබැයි මහේෂ්වරන් නාමිකව නායකත්වයේ හිටියාට බලය තිබුණේ ප්‍රභාකරන් අතේ. ඔය අතරේ LTTE සංවිධානයට පළවෙනි කාන්තා චරිතය එකතු වෙනවා. ඒ උර්මිලා. ඒ වගේම LTTE එකට ඉතාම වැදගත් චරිතයක් වුනු කවුරුත් දන්නා ෂන්මුගම් කුමාරන් තර්මලිංගම් නොහොත් කුමරන් පත්මනාදන් (K.P) එකතු වෙන්නෙත් ඔය අතරේ. ඒ වගේම මාධ්‍යවේදියෙක් වුනු ඇන්ටන් බාලසිංහම් LTTE එකට සම්බන්ධ වෙනවා. ඉන් පස්සේ උමා මහේෂ්වරන් සහ ප්‍රභාකරන් අතරේ අභ්‍යන්තර මත ගැටුම් ඇති වෙනවා ඔවුන්ගේ ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන්. ඒ ගැටුම් වල ප්‍රතිඵලයක් විදිහට 1980 දී උමා මහේෂ්වරන් LTTE සංවිධානයෙන් ඉවත් වෙලා ප්ලොට් සංවිධානය පිහිටුවා ගන්නවා. ඉන් පස්සේ නායකත්වයට පත් වුනු ප්‍රභාකරන්ගේ පාලනය සම්බන්ධව දැඩි චෝදනා ඔහුට එල්ල වුණා. එයින් ලොකු ම චෝදනාව වුණේ ඒකාධිපති පාලනයක් ගෙනියන්න උත්සහ කරනවාය කියන චෝදනාව. ඒ හේතුවෙන් LTTE සාමාජිකයින් විශාල පිරිසක් ඉන් ඉවත් වෙලා ප්ලොට් සංවිධානයට බැඳුණා. ඉතින් විරෝධතා උත්සන්න වීමත් එක්ක ප්‍රභාකරන් LTTE එකෙන් ඉවත් වෙලා ටෙලෝ සංවිධානයට එකතු වුණා. නමුත් ටික කාලයකට පස්සේ නැවත ඔහු LTTE සමඟ එකතු වුණා. ඒ හරහා ටෙලෝ සහ LTTE අතර පොඩි එකමුතුවකුත් ඇති වුණා. 

ඉතින් ටෙලෝ සහ LTTE එකට එකතුවෙලා කොල්ලකෑම් සහ ප්‍රහාර එල්ල කිරීම් වල දිගින් දිගටම නිරත වුණා. ඒ වෙද්දී උතුරේ ජනප්‍රිය ම විමුක්තිකාමි නායකයින් දෙන්නා වුණේ ටෙලෝ නායක කුට්ටිමනී සහ LTTE නායක ප්‍රභාකරන්. පස්සේ ටෙලෝ නායකයින් කිහිපදෙනෙක් ඉන්දියාවට පල යාමට උත්සහ කරද්දී හමුදාවට හසු වුණා. ඒ අය ජීවිතාන්තය දක්වා සිර භාරයට පත් කෙරුණා. ඒ හේතුවෙන් ටෙලෝ සංවිධානය අඩපණ වෙන්න පටන් ගත්තා. ඒ සිද්ධියෙන් පස්සේ දිගින් දිගටම දෙමළ සන්නද්ධ සංවිධාන ඉලක්ක කරගෙන හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක වුණා. ඒවායින් ඒ සංවිධාන වල සාමාජිකයින් සහ නායකයින් රාශියක් අත් අඩංගුවට පත් වුණා. ඉතිරි බොහෝ දෙනා ඉන්දියාවට පලා ගියා. 

ටෙලෝ නායකයින් අත් අඩංගුවට පත් වීමත් එක්ක LTTE සහ ටෙලෝ අතර තිබ්බ එකමුතුව අවසන් වුණා. ඊට හේතු වුණේ ටෙලෝ නායකයින් අත් අඩංගුවට පත් වීම ප්‍රභාකරන්ගේ ඔත්තු සැපයීමක් බව ටෙලෝ සාමාජිකයින් විශ්වාස කිරීමයි. ටෙලෝ දුර්වල වීමත් එක්ක LTTE සංවිධානය තනි සංවිධානයක් විදිහට ක්‍රියාත්මක වුණා. නායකයා ප්‍රභාකරන් සහ චාල්ස් ඇන්තනි (සීලන්) හමුදා ප්‍රධානියා විදිහටයි පසුව කටයුතු කලේ. ඔය සිද්ධි අතරේ 1982 LTTE සාමාජිකයින් විසින් චාවකච්චේරි පොලිස් ස්ථානයට පහර දී ආයුධ පැහැර ගැනීම වැදගත් සිද්ධියක් වෙනවා. ඔය විදිහට අනෙකුත් දෙමළ සන්නද්ධ සංවිධාන අභිබවා LTTE උතුරේ බලපෑමක් කල හැකි විශාලම සංවිධානය බවට පත් වෙලා තිබුණා. ඒ බව පැහැදිලි වෙනවා 1983 මැතිවරණය වර්ජනය කරන විදිහට LTTE එක දෙමළ ජනතාවට දැනුම් දීමත් එය සාතිශය බහුතර දෙමළ ජනතාවක් අනුමත කිරීමත් නිසා. ඒ අනුව ටිකෙන් ටික දෙමළ ජනතාව දෙමළ දේශපාලන පක්ෂ වලට වඩා LTTE ගැන වැඩි විශ්වාසයක් ඇති කරගන්න පටන් ගත්තා. 

LTTE සංවිධානය බලවත් වීමත් එක්ක ඔවුන්ට එරෙහි හමුදා මෙහෙයුම් අඛණ්ඩව සිදු කෙරුණා. ඒ අනුව 1983 ජූලි 15 වෙනිදා එවකට LTTE හමුදා ප්‍රධානියා වුනු සීලන් ඇතුළු පිරිසක් චාවකච්චේරියේ නිවසක ඉන්න බවට හමුදාවට ඔත්තුවක් ලැබුණා. අදාළ වැටලීමේ දී සීලන්ගේ කකුලට වෙඩි වැදීමක් සිද්ධ වුණා. ඒ හේතුවෙන් පලායාමට නොහැකි වුනු සීලන්, තමන් මරා දමන ලෙස අනෙක් සගයින්ට නියෝග කළා. ඔවුන් ඒ අණ පිළිපැද්දා. ඔහුගේ මරණය LTTE සංවිධානය තුල දැඩි කැලඹීමක් ඇති කරන්න සමත් වුණා. සීලන් වෙනුවෙන් ඔවුන් පළි ගැනීමේ ප්‍රහාරයක් සැලසුම් කළා. ඒ අනුව 1983 ජූලි  23 වෙනිදා හමුදා මුර සංචාරයක් ඉලක්ක කරගෙන LTTE ප්‍රහාරයක් එල්ල කළා. ඒකෙන් යුධ හමුදා සෙබළුන් 13 දෙනෙක් මිය ගියා. 

ඔන්න ඔය සිද්ධිය තමයි මූලික වුණේ 83 ජූලි කලබල වලට. ඉන් පස්සේ කොළඹ ඇතුළු තදාසන්න නගර බොහෝමයක දෙමළ ජන සංහාරයක් ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. කුපිත වූ සිංහල කලහකාරී වැසියන් අදාළ සතිය තුල විශාල ප්‍රමාණයක් දෙමළ වැසියන් ඝාතනය කළා. ඒ වගේම ඔවුන්ට අයත් නිවාස සහ ව්‍යාපාර ගිනි තබා විනාශ කළා. ඒ වගේම විශාල පිරිසක් අවතැන් වුණා. පසුකාලීන ව බොහෝ පිරිසක් වෙනත් රටවලට සංක්‍රමණය වුණා සරණාගතයින් විදිහට. රජයක් විදිහට එවකට ආණ්ඩුව මේ සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගත්තේ නැහැ කියන එකයි බොහෝ දෙනා කියන්නෙ. හැබැයි ඒ වෙද්දී ආණ්ඩුවට හිසරදයක් වෙලා තිබුණු දකුණේ දේශපාලන පක්ෂ කිහිපයක් තහනම් කරන්න නම් එවකට ආණ්ඩුව ක්‍රියා කළා. ඒ අතරින් ජනතා විමුක්ති පෙරමුණ විශේෂයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here