අද කාලේ ලැප්ටොප් එකක් එක්ක අනිවාර්යයෙන්ම ගන්න වුවමනා අමතර USB ගැජට් කිහිපයක්! – Saru News Media

0
7

ඉස්සර කාලේ නම් ලැප්ටොප් එකක් ගන්නවා කියන්නේ පිස්සු හැදෙන කාරණයක්. ඒ කාලේ ලැප්ටොප් ඒ තරම් මිලෙන් අධිකයි, සුඛෝපභෝගියි. හැබැයි ඉතින් දැන් කාලේ කියලත් නවීන ලැප්ටොප් එහෙමට මිලෙන් අඩු වෙලා නෑ. ඒත් ඉතින් දැන් හැමතැනම නවීන ලැප්ටොප් ගෙවන්න ගන්න ක්‍රම හඳුන්වලා දීලා තියෙනවා. හැබැයි ඉතින් තමන්ගේ වෘත්තිය වැඩකටයුතු, ඉගෙනුම් වැඩකටයුතු හෝ නිර්මාණ වැඩකටයුතු වලට ලැප්ටොප් එකක් ගන්න හාදයෙක් ලැප්ටොප් එක විතරක් උස්සගෙන ඇවිත් හරියන්නෙ නෑ. තව ගන්න ඕන ගැජට් බැජට් කීපෙකුත් තියෙනවා. සමහර වෙලාවට මේවා ලැප්ටොප් එකත් එක්කම ගන්න බැරි වෙන්න පුලුවන්. හැබැයි හෙමිහිට හරි මේ දේවල් අරගෙන තියාගන්න එක බොහොම ප්‍රයෝජනවත්!

 

දැන් කාලේ එන ගොඩක් නවීන නෝට්බුක් පරිගණක වල ඩීවීඩී රොම් එකකුත් නෑ. ඇත්තටම දැන් ඩීවීඩී වල යුගයත් ක්‍රමයෙන් අභාවයට යමින් තියෙනකොට, නවීන නෝට්බුක් එකක ඩීවීඩී රොම් එක අයින් කරලා නිෂ්පාදකයින් උත්සාහ කරන්නේ නෝට්බුක් එක තව තවත් සිහින් ප්‍රමාණයකින් ලබාදෙන්න. ඇත්තටම වර්තමානයේදී අපි ඩීවීඩී රොම් එකක් පාවිච්චි කරන්නේ කොයි තරම් කලාතුරකින්ද කියලා හිතනකොට ඒක සාධාරණයි.

හැබැයි අපිට පරණ ඩීවීඩී එකක තියෙන දේවල් ආයෙමත් ගන්න, සමහර දේවල් ඩීවීඩී එකකට රයිට් කරලා තියාගන්න එහෙම වුවමනාවල් එනවනේ. ආන්න එතකොට හිතෙනවා හදිසියකට ගන්න ඩීවීඩී රොම් එකක් තිබ්බා නං හොඳයි කියලා. ඒකට සුදුසුම දේ තමයි පෝටබල් USB ඩීවීඩී රොම් එකක් ගන්න එක. සෑහෙන කාලයක් පාවිච්චි කරන්නත් පුලුවන්.

 

සාමාන්‍යයෙන් ලැප්ටොප් එකක දීර්ඝව වැඩ කරන කෙනෙක්ට හැම වැඩක්ම ටච් පෑඩ් එකෙන් කරන එක අමාරුයි. ටච් පෑඩ් එකට හුරු වෙලා ඉන්න අයත් ඉන්නවා. හැබැයි ටච් පෑඩ් එකෙන් වැඩ කරන එක, මවුස් එකෙන් වැඩ කරන තරම් ෆාස්ට් නෑ කියලා හිතෙනවා නම් අනිවාර්‍යයෙන්ම මවුස් එකක් ගන්න එක හොඳයි.  පොඩි USB මවුස් එකක් අඩු ගාණකට ගන්න පුලුවන්. වුවමනා නම් වයර්ලස් මවුස් එකක් ගන්න පුලුවන්. ඒක වඩාත් ලේසියි. ඉස්සර වගේ සතියකට පාරක් බැටරි දාන්නත් අවශ්‍ය නෑ. දැන් තියෙන ගොඩක් වයර්ලස් මවුස් වලට එක පාරක් බැටරි දැම්මට පස්සේ අවුරුද්දක්වත් වැඩ කරන්න පුලුවන්.

 

දැන් ඔය ලැප්ටොප් උපකරණයක් අරගෙන ඒකෙන් සෑහෙන්න ලිපිලේඛන කටයුතු කරන අයත් ඉන්නවනේ. ආන්න ඒ වගේ අයට ලැප්ටොප් එකේ එන කීබෝඩ් එක දීර්ඝ කාලයක් පාවිච්චි කරන්න වෙන්නෙ නෑ. ඒකට හොඳ විසඳුමක් තමයි වෙනම පොඩි පහේ කීබෝඩ් එකකුත් අරගන්න එක. ඒක ලැප්ටොප් එකත් එක්ක එහෙ මෙහේ ගෙනියන්න වුවමනා නෑ. මග දිගට ටයිපින්ග් වැඩ ගොඩක් කරන්නෙ නැහැනේ. හැබැයි අර බොහොම හුරුබුහුටි, ඉතාම සිහින් ප්‍රමාණයේ අලුත් තාලේ කීබෝඩ් එකක් නම් එහෙම බෑග් එකේ දාගෙන යන්න වුනත් ගැටළුවක් නෑ. උඩින් කියපු විදියටම වයර්ලස් කීබෝඩ් එකක් ගන්න එකත් වාසියි.

 

පෝටබල් හාඩ් ඩිස්ක් එකක් ගොඩක් වෙලාවට ප්‍රයෝජනවත් වෙන්නේ ඔය ඩිසයිනර්ස්ලට එහෙම තමයි. එහෙම නැතිනම් ඉතින් ඔය ෆිල්ම්, මියුසික්, ටීවී සීරීස් එහෙම ඩවුන්ලෝඩ් කරලා එකතු කරන උදවියටත් සිද්ධ වෙන නස්පැත්තියක් තමයි ටෙරාබයිට් 1 ක හාඩ් ඩිස්ක් එකක් වුනත් මාස හයක් යනකොට පිරෙන එක. අන්න එතකොට තමයි හිතෙන්නේ පෝටබල් හාඩ් එකක් තිබ්බා නම් හොඳයි කියලා.

කොහොම වුනත් මේක අනිවාර්‍ය කාරණයක් නෙවෙයි. පෝටබල් හාඩ් ඩ්‍රයිව් එකක් මිලදී ගන්න වෙන්නේ ලොකු මතක ධාරිතාවක් අවශ්‍ය වෙන විදියේ වැඩකටයුතු කරන අයට තමයි.

 

පෝටබල් හාඩ් එකක් ගන්න එක හෝ නොගන්න එක එහෙම තීරණය කරන්න පුලුවන් වුනත්, දැන් කාලේ පෙන් ඩ්‍රයිව් එකක් නම් ලැප්ටොප් එකත් එක්කම ගන්න වෙනවා. සමහර වෙලාවට ලැප්ටොප් එකක් නැතත් පෙන් ඩ්‍රයිව් එකක් නම් වුවමනාම වෙනවා. සාමාන්‍යයෙන් දැන් කාලේ 16GB, 32GB පෙන් ඩ්‍රයිව් එකක් වුනත් බොහොම අඩු මුදලකට ගන්න පුලුවන්. තමන්ගේ සොෆ්ට් කොපි විදියට තියෙන ලිපි ලේඛන, විවිධ කම්පියුටර් ෆයිල්ස් එහා මෙහා ගෙනියන්න පෙන්ඩ්‍රයිව් එකක අගේ කියලා නිම කරන්න බෑ. හදිසියකට යාලුවෙක්ගෙන් ෆිල්ම් එකක් එහෙම ඉල්ලගන්නවත් පෙන් ඩ්‍රයිව් එකක් අතේ තියෙන්න ඕනැනේ!

 

මේකත් ඇත්තටම විකල්පයක්. ගොඩක් දෙනෙක් කැමතියි තමන් වැඩ කරන අතරේ සංගීතයට සවන් දෙන්න. වැඩ නැති වෙලාවට වුනත් ආස සිංදුවක් අහන්න කවුද අකමැති? හැබැයි ඉතින් ඕනම ලැප්ටොප් එකක/නෝට්බුක් එකක හොඳ මට්ටමේ හෝ සාමාන්‍ය මට්ටමේ ස්පීකර් පද්ධතියකුත් තියෙනවා. ඒත් ඒකට කැමති නැති කෙනෙක්ට ඕන නම් හොඳ බ්ලූටූත් ස්පීකර් එකක් ගන්න පුලුවන්. විශේෂයෙන්ම දැන් ඉහළ මට්ටමේ සවුන්ඩ්ස් ලබාදෙන, ඒත් හිතන්න බැරි තරම් පොඩි ප්‍රමාණයේ බ්ලූටූත් ස්පීකර්ස් තියෙනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here