නිවස හරියට, ඉක්මනට පිරිසිදු කර ගන්නේ කොහොමද? – Saru News Media

0
6

සාමාන්‍යයෙන් නිවසක් පිරිසුදු කරනවා කියන එක ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි. නිවස විශාල වෙන්න විශාල වෙන්න, පිරිසුදු කරන ව්‍යාපෘතියට දායක වෙන ප්‍රමාණය අඩුවෙන්න අඩුවෙන්න ඒ වැඩේ ඔලුව කැක්කුමක් බවට පත්වෙන ප්‍රමාණය විශාල වෙනවා. හැබැයි එහෙම නිවසක් පිරිසිදු කරනවා වගේ වැඩකට අකමැති කෙනෙක් උනත් කැමති පිරිසිදුව තියෙන නිවසක ජීවත් වෙන්න. ඒක අපි හැමෝම අත්දැකලා තියෙන දෙයක් නේ. පිරිසිදුව පිළිවෙලට තියෙන කාමරයක වුණත්, සාලයක වුණත්, මුළුතැන්ගෙය වුණත් ඉන්න එකත් සතුටක්. එහෙම තැනක ඉදන් වැඩක් කරන එක වුණත් සතුටක්.

අපි හිතමු අපිට තනියෙන්ම ගෙයක් පිරිසිදු කරන්න සිද්ධ වෙනවා කියලා. එතකොට හොඳම දේ තමයි, මේකෙ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය හරි පිළිවෙළට ඒත් හැකිතාක් ඉක්මනට කරන්නට කෙටි ක්‍රම හොයා ගැනීම. අන්න ඒ ගැන තමයි අපි කියන්න යන්නේ. මේ අපි කියන සමහර ටිප්ස් නම් දැක්කහම හිතෙයි ඇයි මට ඒ ගැන කලින් හිතුනේ නැත්තෙ කියලා. ඒ තරමට සරල සහ ප්‍රායෝගික උපදෙස් කීපයක් තමයි අපි මේ කියලා දෙන්න යන්නේ.

Tips to clean the house more efficiently

සාමාන්‍යයෙන් ගෙදර යම් කොටසක් පිරිසුදු කරනවා කියන්නේ, මුලින්ම දූවිලි පිස දැමීම, වැකියුම් කිරීම, බඩුමුට්ටු පිළිවෙල කර එකලස් කිරීම සහ මොප් කිරීම කියන වැඩකටයුතු ටික තමයි. එතකොට ඕන නම්, අපිට එක කොනකින් පටන් අරගෙන ගෙයි එක එක කෑල්ල සම්පූර්ණයෙන්ම පිරිසිදු කරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ ඔන්න සාලය අරගෙන දූවිලි පිහි දාලා වැකියුම් කරනවා, බඩුමුට්ටු එකලස් කරලා ඊට පස්සේ මොප් කරනවා. ඊට පස්සේ ඔන්න පළවෙනියටම තියෙන කාමරය ගන්නවා. ඒකෙත් දූවිලි පිහි දාලා වැකියුම් කරලා, බඩුමුට්ටු එකලස් කරලා ඊට පස්සේ මොප් කරනවා. ඊළඟට දෙවැනි කාමරය. ඒකත් එහෙමයි. හැබැයි එතකොට අපි සම්පූර්ණ පිරිසිදු කරන ප්‍රොසෙස් එකම ආයි ආයි කරනවා කියලා තමයි දැනෙන්නේ. හැබැයි ඔක්කොම කෑල්ලෙන් කෑල්ල සම්පූර්ණ සුද්ද කරන වැඩේ කරගෙන යනවට වඩා, අඩු මහන්සියකින්, වැඩි උද්යෝගයකින් ඔය වැඩේ කරගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මුළු නිවසම එකපාර පිරිසිදු කරන එක. ඒ කියන්නේ මුලින් අපි පටන් ගන්නවා දූවිලි පිහදාන්න. එතකොට නිවසේ සාලය, කාමර, නාන කාමර, කුස්සිය වගේ කොටස් වලින් හැදුනු මුළු නිවසම දූවිලි එකපාර පිහිදානවා. ඊට පස්සේ වැකියුම් කරන එකත් මුළු ගේම වැකියුම් කරනවා. ඊට පස්සේ බඩුමුට්ටු පිළිවෙල කරලා එකලස් කරන එකත් කෑල්ලෙන් කෑල්ල මුළු ගේම කරගෙන යනවා. ඊට පස්සේ තියෙන්නේ මුළු ගේම මොප් කරන්න.

Tips to clean the house more efficiently

ගොඩක් වෙලාවට අපිට ගෙදර පිරිසිදු කරනවා වගේ වැඩක් එපා වෙන තැන තමයි, ඒකට අවශ්‍ය කරන උපාංග මෙවලම් තැන් තැන් වල තිබීම. ඒ කියන්නේ දූවිලි පිහිදන කොස්ස එක තැනක. ඊට පස්සේ මේස එහෙම රෙදි කෑල්ලකින් පිහිදාලා ගන්න හිතුවහම රෙදි කෑල්ලක් නෑ. ඊට පස්සේ දූලි පිහිදන වැඩේ පැත්තකින් තියලා රෙදි කෑලි හොයන්න යන්න ඕන. එහෙම වැඩ කරන්න ගියහම, අන්තිමට වෙන්නේ වැඩේට තියන උනන්දුව නැති වෙලා යන එක. ඒ නිසා හොඳම දේ තමයි, වැඩේ පටන් ගන්න කලින් ම අවශ්‍ය කරන මෙවලම් ටික එකතු කර ගැනීම. ඊට පස්සේ ඒ ටික වැඩේට උදව්වක් වෙන විදිහට එකලස් කරගැනීම. උදාහරණයක් විදිහට දූවිලි පිසදාන කොසු, බ්‍රෂ්, රෙදි කෑලි එහෙම බාල්දියකට හරි ඒ වගේ එකකට දාගෙන අරන් යන්න පුළුවන්. ඒ අතරෙම මකුළු දැල් කඩන කොසු එහෙමත් තියාගන්න පුලුවන්. එතකොට මොප් එක, මොප් බාල්දිය, සබන්, වයිසර් එක එහෙම මොප් කරන වෙලාවට හොයන්න තියන්න එපා. ඒවත් අහලින් පහලින් තියලා තියන්න, එතකොට මකුළු දැල් ටික කඩලා, වැකියුම් කරලා, බඩුමුට්ටු පිළිවෙලක් කරලා එනකොට මොප් කරන්න ඕන බඩු ටිකත් අත ළඟම තියෙනවා.

Tips to clean the house more efficiently

දැන් හැමදාම පිළිවෙලටම ඉන්න විදියේ කෙනෙක් නෙවෙයි නම්, සාමාන්‍යයෙන් මෙය මාස ගානකට අවුරුද්දකට සැරයක් ගේ අස් පරස් කරන්න යනකොට දකින්න පුළුවන් සමහර කාමර වල එහෙම සෑහෙන කුණුකන්දල් එකතු වෙලා තියෙනවා. මෙතන මේ අපි කුණු කන්දල් කියලා කියන්නේ ගොඩක් වෙලාවට අවශ්‍යද අනවශ්‍ය ද කියලා තීරණය කරන්න බැරි නිසා ගොඩගහලා තියාගත්ත දේවල්. පරණ පත්තර, පරණ සඟරා, හිස් පෙට්ටි, හිස් බෑග්, කවදහරි අඳින්න පුළුවන් වෙයි කියලා තියාගත්ත ඇඳුම්… මේ වගේ නොයෙකුත් ජාති මේ කුණු කන්දල් වලට අයිති වෙනවා. දැන් අපි පිරිසුදු කරන මෙහෙයුම පටන් ගන්න කලින් කරන්න ඕන දේ තමයි, මේ කුණු කන්දල් ටික සුද්ද බුද්ද කරගෙන ඉන්න එක. බලන්න මුලින් මෙතන තියෙන අවශ්‍ය දේවල් මොනවද කියලා. හැබැයි මෙතනදී අර කුම්මැහි කමට කවදාහරි ඕනෙ වෙයි කියලා දේවල් ගොඩ ගහගෙන හරියන්නේ නෑ. ඒ වෙනුවට තීරණය කරන්න ඕන ඇත්තටම මේ මොහොතේ අපිට වැදගත් වෙන්නේ මොනවද, අපිට එපා දේවල් මොනවද කියලා. ඒ අපිට එපා දේවලුත් වර්ග කරගන්න පුළුවන්, තව කෙනෙක්ට ප්‍රයෝජනයක් වෙන දේවල් සහ කාටවත් ප්‍රයෝජනයක් ගන්න බැරි දේවල්. කාටවත් ප්‍රයෝජනයක් ගන්න බැරි පාවිච්චි කරන්න බැරි දේවල් නම් ඉතින් කුණු ගොඩට තමයි යන්නේ.

Tips to clean the house more efficiently

දැන් ගෙදර දූවිලි පිහිදානවා කියන වැඩේ ඔහේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මුලින්ම ගෙදර ඔය ඇදුම පීනස වගේ දේවල් තියෙන, දූලි ටිකක් නාහෙට ගියපු ගමන් හෙම්බිරිස්සාව හැදෙන අයව සහ පොඩි ළමයින්ව ඈත් කරලා තියන්න ඕන. තමන්ටත් මාස්ක් එකක් එහෙම දාගෙන වැඩේ පටන් ගන්නවා නම් හොඳයි. ඊට පස්සේ ගෙදර ෆෑන් අනං මනං ඕෆ් කරන්න ඕන. ජනෙල් එහෙමත් ඇරලා දාලා දූවිලි පිහිදාන එක හොඳයි. හැබැයි ජනෙල්වලින් තද හුළං එනවනම් ඒක හරියන්නෙ නෑ. මතක තියාගන්න බඩුමුට්ටු වල උඩ විතරක් නෙවෙයි, යටත් දූවිලි තියෙනවා. ඒවා පිහිදාන්න ඕන. උදාහරණයක් විදියට පුටුවක යට සාමාන්‍යයෙන් හොඳට සුද්ද කරන්න නම්, මුලින් බැඳිලා තියෙන මකුළු දැල් කඩන්න ඕන. ඊට පස්සේ පුටුවෙ යට පැත්තේ තියෙන දූවිලි ටික පිහිදාන්න ඕන. ඊට පස්සේ වැකියුම් කරන්න පුළුවන්.

Tips to clean the house more efficiently

කණ්නාඩි සහ වීදුරු මතුපිට පිස්සා දානකොට සාමාන්‍යයෙන් ක්‍රමය තමයි, තෙත් කරපු microfiber රෙදි කෑල්ලක් අරගෙන හොඳට පිසදාලා, ඊට පස්සේ තෙත නැති රෙදි කෑල්ලකින් පිසදාන එක. කණ්නාඩි වල වීදුරු වල පැල්ලම් එහෙම තියනවනම්, දත් බෙහෙත් ටිකක් ගාලා හොඳට රෙදි කෑල්ලකින් අතුල්ලලා ඒ පැල්ලම් යවන්න පුළුවන්.

එතකොට ඔය නිතර අතපත ගෑවෙන පෘෂ්ඨයන් තියෙන්නෙ. ඒක යන්නෙ දොරවල් වල අරින හැන්ඩ්ල්, කැබිනට් වල මතුපිටවල්, ලයිට්, ෆෑන් වගේ දේවල් දාන ස්විච්, ටීවී රිමෝට් කන්ට්‍රෝල් වගේ දේවල් පිසදාලා විතරක් මදි. ඒවා විෂබීජහරණය කරන්නත් පුළුවන් නම් වඩා හොඳයි. ඒකට ඔවුන් නම් වතුරට දාපු ඩෙටෝල් වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් සුදු විනාකිරි කෝප්පෙකට වතුර කෝප්ප හතරක් මිශ්‍ර කරලා ගෙදරම විෂබීජ නාශකයක් හදාගන්නත් පුළුවන්.

Tips to clean the house more efficiently

දැන් අපි ගෙදර ඔක්කොම අස් කරලා, මකුළු දැල් කඩලා, දූවිලි පිහිදලා, වැකියුම් කලාටත් පස්සේ, අපිට තියෙන්නෙ මොප් කරන්න තමයි. හැබැයි මතක තියාගන්න. කොයිතරම් වැකියුම් කරලා තිබුණත්, මොප් කරන්න කලින් මුළු ගේම එක පාරක් අතුගාන්න. එතකොට ඔය අහුමුලු වලටත් වැඩිපුර අවධානය යොමු කරන්න. අන්න ඊට පස්සේ අපිට පුළුවන් මොප් කරන්න. මොප් කරනකොට සාමාන්‍යයෙන් එක පාරක් සබන් හරි ඒ වගේ පිරිසුදුකාරකයක් මිශ්‍ර කරපු ජලයෙන් මොප් කරලා, ඊට පස්සේ පිරිසුදු ජලයෙන් මොප් කරලා ඒ පිරිසිදුකාරක සහ අපිරිසිදු ජලය අයින් කරන එකනේ කරන්නේ. අන්තිමට වයිසර් එක අරගෙන ඉතුරුවෙලා තියෙන වතුර ඉවත් කරලා දානවා. ඒක හරි. ඒක තමයි ක්‍රමය. හැබැයි මොප් කරන්න පටන් ගන්න කලින් පොඩ්ඩක් හිතල බලන්න, කොතනින්ද පටන් ගන්නේ කොතනින්ද ඉවර කරන්නෙ කියන එක. ඒක තීරණය කරන්න පුළුවන් අපි මොප් කරන අවකාශයේ හැටියට තමයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here