මත්ද්‍රව්‍ය සමඟ 12 දෙනෙක් අත්අඩංගුවට – Saru News Media උණුසුම් පුවත්

0
6

බේරුවල වෙත්තිමරාජපුර ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ ප්‍රධාන ජාවාරම්කරු ඇතුළු 12 දෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනුනා.

බේරුවල පොලීසියේ විශේෂ කණ්ඩායමක් වෙත්තිමරාජපුර ප්‍රදේශයේ හදිසි වැටලීමක් සිදු කළා.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනුණු අතර ඔහුගෙන් අයිස් මත්ද්‍රව්‍ය ලබාගත් 11 දෙනෙකු ද අත්අඩංගුවට ගැනුණේ අයිස් ග්‍රෑම් 10 ක් ද සමඟයි.

ප්‍රධාන සැකකරු කලක් තිස්සේ බේරුවල මරදාන සහ වෙත්තිමරාජපුර සහ මහගොඩ ආදී ප්‍රදේශවල සූක්ෂම ලෙස අයිස් මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදු කර ඇති බවයි මූලික විමර්ශනවලදී හෙළි වුණේ.

මේ අතර ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් වතුගෙදර ආදාදොල දුම්රිය ස්ථානය ආසන්නයේ නිවසක් පරික්ෂාවට ලක් කළා.

එහිදී අයිස් ග්‍රෑම් 57 ක් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් තුන් ලක්ෂ අනූ පන්දහසක මුදලක් ද සොයා ගැනුණු අතර නිවසේ හිමිකරු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඊසි ක්‍රෑෂ් ක්‍රමයට සැකකරු මෙ මත්ද්‍රව්‍ය අලෙවිය සිදු කරගෙන ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

මේ අතර විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් කිසියම් අපරාධයකට යොදා ගැනීමට සූදානමින් ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ගලහ නිල්ලඹ වේල්ල අසල මාර්ගයේදී අත්අඩංගුවට ගැනුණා.

මොවුන් දෙදෙනා කොළබිස්ස හා දෙල්තොට පදිංචිකරුවන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here