මහ මුහුද මේ තරම්ම වටින්නේ ඇයි? සාගරයේ අපි නොදන්නා වටිනාකම් ගැන දැනගනිමු – Saru News Media

0
5

මේ අපි මුහුද ගැන හුඟක් කතාකරන කාලයක්. මොකක්දෝ අවාසනාවකට මුහුද ගැන කතාකරන්න අපිට මුහුදට කරදරයක් වෙනකන්ම ඉන්න වුණාට ඇත්තටම අපි මුහුද ගැන කතාකරන්න තිබ්බේ මීට හුඟක් කලින්. මොකද මුහුද, එහෙමත් නැත්තම් මහා සාගරය කියල කියන්නෙ අපේ ජීවිත වලට, මේ ලෝකයට අපි නොදන්න හුඟාක් දේවල් ලබාදෙන තැනක්. ඉතින් පරක්කු වෙලා හරි, මුහුද ගැන හැමෝම කරදර වෙන කාලේදී, මුහුදේ ප්‍රයෝජන මතක් කරල හැමෝවම දැනුවත් කරන ඒක අපේ යුතුකමක්නේ. ඉතින් අපි කියවලා බලමු මහා මුහුද මේ තරම්ම් අපේ ජීවිත වලට වැදගත් වෙන්නෙ ඇයි කියලා.

 

අපි කාලයක් තිස්සෙ විශ්වාස කරන්නෙ, එහෙමත් නැත්තම් අපි  දන්නේ පෘථිවියට අවශ්‍ය ඔක්සිජන් නිෂ්පාදනය සිදුකරන්නෙ පෘථිවිය මත තියෙන ශාක, ඒ කියන්නෙ ප්‍රධානවම වැසි වනාන්තර වලින් කියල. ඒ නිසා හැමෝම ඇමසන් වනයේ විශේෂත්වය, මේ විශාල වැසි වනාන්තරයෙන් නිපදවෙන ඔක්සිජන් ප්‍රමාණය ගැන එහෙම කතා කරනවා. හැබැයි ඇත්තම කතාවනම් ඇමසන් වනාන්තරය මඟින් නිෂ්පාදනය කෙරෙන්නෙ ලෝකයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණයෙන් හරිම කුඩා ප්‍රතිශතයක්. පෘථිවියට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණයෙන් 50%ත් 70%ත් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරෙන්නේ සාගරය මඟින්. සාගරයේ තියෙන ෆයිටොප්ලැන්ක්ටන් (phytoplankton)  නම් අන්වීක්ෂීය ශාකය මඟින් වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් උරාගෙන ගැඹුරු සාගරයට  මුදාහරිනවා. ඒ වගේම ඔවුන්ගේ ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලියේ අතුරු ඵලයක් විදිහට ඔක්සිජන් වායුගෝලයට මුදාහරිනවා. ඉතින් අපි ගන්න හැම හුස්මකම ලොකුම කොටසක් නිෂ්පාදනය කෙරෙන්නෙ සාගරයෙන්. 

 

මුහුද කියන්නෙ අපි ගන්න ආහාර විශාල සංඛ්‍යාවක් නිෂ්පාදනය කෙරෙන තැනක්. මාළු සහ අනෙකුත් මුහුදු ආහාර කියන්නෙ ලෝකයේ හැම කොනකම ආහාර විදිහට භාවිතා කෙරෙන දෙයක්නේ. ලෝකයේ සමස්ථ ප්‍රෝටීන පරිභෝජනයෙන් 16%කට ආසන්න ප්‍රමාණයක් පිරිමැහෙන්නේ මේ මුහුදු ආහාර මඟින්. ඒ වගේම ඔමේගා 3 වගේ මොළයට වැදගත් පෝෂ්‍ය පදාර්ථ ලබාගන්න මූලිකම ප්‍රභවයත් මේ මුහුදු ආහාර. මාළු, ඉස්සෝ, දැල්ලෝ වගේ ආහාර වලට අමතරව ඇල්ගී සහ මුහුදු පැලෑටිත් විවිධ ආහාර වර්ග නිෂ්පාදනයට භාවිතා කෙරෙනවා. ඒ වගේම අපි භාවිතයට ගන්න ලුණු නිෂ්පාදනයට අනුග්‍රහය දක්වන්නෙත් සාගරය. ලුණු කියන්නෙ අපි පරිභෝජනය කරන ප්‍රධානම අයඩින් ප්‍රභවයනේ. මේ හැමදේම බැලුවහම අපේ එදිනෙදා ආහාර සහ පෝෂණ අවශ්‍යතාවයන් සපුරාගන්න සාගරයෙන් ලැබෙන්නේ ඉතා ඉහළ දායකත්වයක්.

 

මුහුද ආශ්‍රිතව කරන රැකියා කිව්වම මුලින්ම අපේ මතකෙට එන්නෙ ධීවර කර්මාන්තයනේ. හැබැයි මුහුද කියල කියන්නෙ ඊට වඩා විශාල සංඛ්‍යාවක් රැකියා උත්පාදනය කරන සම්පතක්. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ඇස්තමේන්තු කරල තියෙන විදිහට ලෝකයේ මිලියන 59.6ක පමණ ජනතාවක් මේ මුහුද පදනම් කරගත්ත ජීවන වෘත්තීන් වල නිරත වෙනවා. අපි දන්නා සරලම ධීවර වෘත්තියට අමතරව වෙරළබඩ හා සමුද්‍රීය සංචාරක කර්මාන්තය, ජලජීවී වගාව, පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය, ඛනිජ සම්පත්, ජෛව තාක්‍ෂණය, ධීවර, නැව් තැනීම සහ නැව් අලුත්වැඩියා කිරීම, අක්වෙරළ තෙල් හා ගෑස් සහ ප්‍රවාහන වගේ ඉතා විශාල පරාසයක කර්මාන්ත වගේම ජීවිතාරක්ෂකයින්, කිමිදුම් උපදේශකයින්, සමුද්‍ර පාදක සංචාරක ක්‍රියාකරුවන්, ජල ක්‍රීඩා උපදේශකයින් වගේ වෘත්තීන් රැසකුත් මහ මුහුද ආශ්‍රිතව ක්‍රියාත්මක වෙනවා. ඉතින් ගන්න හුස්ම, කන කෑමට අමතරව ජීවිතේ ගැටගහගන්න විශාල රැකියා ප්‍රමාණයකුත් මේ මහ මුහුදෙන් අපිට ලැබෙනවා.

 

මුහුද කියල කියන්නෙ ජීවීන් අතිවිශාල සංඛ්‍යාවකට නවාතැන් සපයන ස්ථානයක්. මේ මහ මුහුදේ ජීවත්වෙන ජීවින් ප්‍රමාණය කොයිතරම්ද කියල තවම කිසිම ඇස්තමේන්තුවක් කරන්න කවුරුවත්ම සමත්වෙලා නැහැ. ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික වෛද්‍ය පුස්තකාලයේ, ජාතික සෞඛ්‍ය ආයතනයට අනුව මුහුදේ ජීවත්වෙන ජීවීන්ගෙන් 91% ක්ම තවමත් හඳුනා නොගත් ජීවීන්. ඉතින් හිතාගන්නකෝ මේ මහ මුහුද ඇතුළේ තියෙන ජෛව විවිධත්වය කොයිතරම්ද කියල. සරලවම කිව්වොත් පොළව මත ජීවත්වෙන ජීවීන්ට වඩා විශාල ජීවින් ප්‍රමාණයක් මහ මුහුද තුළ ජීවත් වෙනවා. ඒ වගේම මේ හැම ජීවියෙක්ම අදාළ පරිසර පධතිය තුළ පෝෂණ දාමයේ ඉතා විශාල කාර්යභාරයක් ඉටු කරනවා. ඒ නිසාම ඒ හැම ජීවියෙක්ම මේ පරිසරයට ඉතාම වැදගත්.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here