රෝල්ස් රොයිස් කාර් රථ මිල අධික වෙන්න හේතු – Saru News Media

0
9

වෙනත් බොහෝ සුපිරි කාර් සමාගම් කාර් නිෂ්පාදනයේදී වේගය, ජවය, එන්ජින් ධාරිතාවය, හැසිරවීමේ හැකියාව වගේ දේවල් ගැන වදවෙද්දි එංගලන්තයේ රෝල්ස් රොයිස් සමාගම නිතරම උත්සාහ කළේ සුඛෝපභෝගීම කාර් නිෂ්පාදනය කරන්නයි. ඉතිං ඔවුන්ගේ ඒ උත්සාහය අපූරුවට සාර්ථක වෙලා තියෙන බව මනාවට ඔප්පු වෙන්නේ වසර 100 කටත් අධික කාලයක් තිස්සේ ලෝකයේ සුඛෝපභෝගීම කාර් හදන සමාගම හැටියට රෝල්ස් රොයිස් සමාගම තාමත් හඳුන්වන නිසා.

කොහොම උනත් මේ කාර්වල මිලනම් හිතගන්න බැරි තරමටම අධිකයි. ලංකාවට ඉස්සෙල්ලම රෝල්ස් රෝයිස් එකක් ගෙනාවේ මීට අව්රුදු 5 කට වගේ ඉස්සෙල්ලා. එතකොට එකේ මිල රුපියල් කෝටි 16 ක් වගේ උනා. Rolls Royce Ghost වර්ගයේ කාර් රථයක් උන මේකේ එවකට නිෂ්පාදිත මිල රුපියල් කෝටි 9 ක් වගේ උනත් ලංකාවට ගෙන්වනකොට අයකරන බදුත් එක්ක මේ මිල තීරණය උනා. ඉතිං අපි බලමු ඇයි රෝල්ස් රොයිස් රථ මෙච්චර ගණන් ඉස්සුවේ කියලා.

ලෝකයේ ඕනෑම නිෂ්පාදනයක වටිනාකමින් සැලකියයුතු කොටසක් එහි සන්නාමයට එහෙමත් නැත්නම් බ්‍රෑන්ඩ් එකට හිමිවෙනවා. ඇපල් සමාගමේ නිෂ්පාදන තමයි මේකට හොදම උදාහරණය. රෝල්ස් රොයිස් කාර් වල මිල ඉහළ යන්න එක හේතුවක් තමයි එකේ බ්‍රෑන්ඩ් එක පිටිපස්සේ තියෙන ප්‍රෞඪ ඉතිහාසය. මුල් කාලීනව බොහෝදුරට ජර්මනිය,ප්‍ රංශය වැනි රටවල් නිතරම අඩු මුදලකින් වැඩි වටිනාකමක් ලබාදෙන වාහන නිෂ්පාදනයටයි පෙළඹුණේ. ඒ වෙනුවට සුවපහසු වැඩි ඉඩකඩක් තියෙන බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ වැදගත් පුද්ගලයන්ට ගැලපෙන කාර් හදන්න හෙන්රි රොයිස් කියන නව නිපැයුම්කරුටත් අදහසක් මතු උනේ අන්න ඒ කාලේදියි. ඔහු චාල්ස් රොයිස් කියන ධනපතියා එක්ක එකතුවෙලා 1904 දී නිෂ්පාදනය කරපු රෝල්ස් රොයිස් වාහන එදාසිට අද දක්වා රාජකීයන්ට ගැලපෙන විදිහට නිෂ්පාදනය කරනවා.

අද වෙද්දී ලෝකයේ වාහන නිෂ්පාදනය කරන්නේ වසර 5 – 10 ක කාලයක් ගැටලුවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් විදිහට. නමුත් හොඳ වාහන මාදිලි බොහොමයක් මේ වගේ කිහිප ගුණයක් තරම් පාවිච්චි කරන අවස්ථා ඕන තරම් තියෙනවා. බොහෝ වෙලාවට ඒකට පාදක වෙන්නේ වාහනය නිෂ්පාදනයේදී යොදාගත්ත තාක්ෂණය, භාවිතාකරන අමුද්‍රව්‍ය හා ඒවායේ උසස් බවයි. රෝල්ස් රොයිස් ලෝකයේ කල්පැවැත්ම ගැන වැඩිපුරම හිතන සමාගමක්. ඒ නිසා ඔවුන් යොදාගන්නා අමුද්‍රව්‍ය, වාහනයේ කාර්මික ශිල්පය, වාහනයේ ගුණාත්මකභාවය වැනි දෑ ගැන ගොඩාක් සැලකිලිමත් වෙනවා. එහි ප්‍රතිඵලය ගැන හොඳම උදාහරණය තමයි සමාගම 1904 සිට මේ දක්වා නිෂ්පාදනය කරපු සියලුම වාහනවලින් 65% කටත් වඩා අදටත් හොඳ ධාවන තත්වයේ පැවතීම. 1925 ත් 1930 අතර කාලයේ හදපු වාහන අදටත් හොඳින් ධාවනය වෙනවා දකින්නත් පුළුවන්.

රෝල්ස් රොයිස් සමාගම කාර් නිෂ්පාදනයට අමතරව ලෝකයේ තියෙන හොඳම ගුවන්යානා එන්ජින් නිෂ්පාදන සමාගමක් බවත් ඔබ සමහරවිට අහලා ඇති. හෙන්රි රොයිස්ගේ අපූරු ඉංජිනේරු හැකියාව මත සමාගම මුල් කාලයේ සිටම රෝල්ස් රොයිස් එන්ජිම ඉතාම උසස් තත්වයෙන් නිෂ්පාදනය සිදූ උනා. ඒ නිසා ගුවන්යානා එන්ජින් නිෂ්පාදනයෙහිත් ඉදිරියෙන්ම හිටියේ ඔවුන්. දෙවන ලෝක යුද්ධයෙදී එංගලන්තයත්, ප්‍රංශය වගේම නාසි ජර්මනියට යටත් වෙන්න හොඳටම ඉඩකඩ තිබුණා. හැබැයි ඒක වැළකුණේ මෙම සමාගම විසින් නිපදවන ලද P-51 Mustang ගුවන්යානය වෙනුවෙන් හදපු මර්ලින් V12 එන්ජිම නිසයි. ඒ නිසා බ්‍රිතාන්‍ය වැසියන් අදටත් රෝල්ස් රොයිස් ආයතනය සලකන්නේ තමන්ගේ මවුබිම බේරාදුන් ආරක්ෂකයා ලෙසයි. රෝල්ස් රොයිස් ගුවන්යානා වලට යොදාගන්නා පේටන් බලපත්‍රය සහිත තාක්ෂණ රැසක් එහි කාර් එන්ජින් වලටත් යොදා ගන්නවා. ජවය, සුමට බව වගේම කල් පැවැත්ම අතිනුත් එහි ඉදිරියෙන්ම සිටින්නේ මෙම කාරණා නිසයි.

රෝල්ස් රොයිස් කාර් නිෂ්පාදනයේදී ඇතුලත සුවපහසුව සඳහා හිමිවෙන්නේ ඉහළම තැනක්. මේ නිසා එන්ජින් ශබ්ද හා දෙදරීම, පාරේ තිබෙන කඩතොලු නිසා ඇතිවෙන ගැස්සීම, වාහනය ගමන් කරන ස්වභාවය නිසා ඇතිවෙන අපහසුතා ඇතුලත සිටින අයට දැනෙන එක අවම කරන්න ඔවුන් විශේෂ උත්සාහයක් ගන්නවා. සුවපහසුව උපරිම කරන විශේෂ suspension පද්ධතියක්, වේගය අඩු වැඩි කිරීම පාලනය කිරීම ඉතාම සුමටව සිදුවෙන විශේෂ එන්ජිම, පිටත ශබ්ධය ඇතුලට ඒම සම්පූර්ණයෙන්ම කපා හැරීම සිදුකරන විදුරුත් ඒ සඳහා උපකාරී වෙනවා. රෝල්ස් රොයිස් කාර් එක සුවපහසු ගමනකට විශේෂ වන්නේ ඒ නිසයි. එය කෙතරම් සුමට අත්දැකීමක්ද කිව්වොත් පැයට කිලෝමීටර් 120ක එහෙමත් නැත්නම් සැතපුම් 100ක වේගයකින් යනවිට වාහනය ඇතුලේ ඉන්න කෙනාට දැනෙන ලොකුම ශබ්දය ඩෑස් බෝඩ් එක උඩ තියෙන ඔරලෝසුවේ කටු ගමන්කරන ශබ්දය විතරයි. මේ තත්වය ඇතිකරන්න කිලෝග්රෑම් 120 කට වැඩි බරකින් යුතු ශබ්ද පරිවාරක ද්‍රව්‍ය යොදාගන්නවා.

රෝල්ස් රොයිස් කාර් රථවල අධි සුඛෝපභෝගී බවට සහ එහි සුවිශේෂීත්වයට හොඳම උදාහරනයක් වෙන්නේ ඔවුන් එහි සුළු දෙයක් සඳහා පවා දක්වන සැලකිල්ලයි. සීටි කවර, ඩෑෂ් බෝඩ් එක හෑන්ඩ් වෙස්ට්, ඇතුලත වහලය ආදිය නිමකරලා තියෙන ලෙදර් මේකට හොඳම උදාහරණයක්. ඒවා වලට ගන්න ලෙදර් හැමවිටම පිරිමි හරකුන් ගෙන් විතරයි ලබාගන්නේ. ඒවගේම ඒ සතුන් සිටින ගොවිපලවල් වල කටුකම්බි වැටවල් නෑ. ගැහැණු හරකුන්ගේ ගැබ් සමයේදී සම ඉරීමට හා ඇදීමකට ලක්වීමත්, කටුකම්බි වැටවල් වලින් හරකුන් යාමේදී සම හිරීමට ලක්වීමත් සිදුවිය හැකියි. ඒව කල්ගත උනත් කැලැල් මැකිමක් සිදුවෙන්නෙ නැහැ. ඒ නිසා පිරිමි හරකුන්ගේ සම පමණක් නිෂ්පාදනයන් සඳහා යොදාගන්නවා. ඒවා ඉතා දක්ෂ මැහුම් ශිල්පීන්ගේ සහයෙන් පමණක් මැසීම සිදුකරන්නටත් ඔවුන් වගබලා ගන්නවා.

අද කාලයේ බොහෝ රථවාහන නිෂ්පාදන සමාගම් ඔවුන්ගේ කටයුතු රොබෝවරුන්ගේ සහයෙනුයි සිද්ධකරන්නේ. ඉක්මන් බව, කාර්යක්ෂම බව හා ලාභදායී බව තමයි මේකට හේතුවෙන්නේ. ඒත් රෝල්ස් රොයිස් සමාගමේ කටයුතු සඳහා ඔවුන් අදටත් හොඳ පුහුණුවක් සහිත ශිල්පීන් පමණයි යොදාගන්නේ. මේ නිසා වාහන එකලස් කිරීම, මගී කුටීරය සැකසීම වගේ දේවල් විශේෂ පිරිසක් එකතුවෙලා ඔවුන්ගේ අතින්මයි සිදුකෙරෙන්නේ.

මිලදී ගන්න කෙනාගේ කැමැත්ත අනුව වෙනස්කම් කටයුතු කිරීමත් මේකට ඇතුළත් වෙනවා. ඉතිං අනිත් සමාගම් සාමාන්‍යයෙන් වාහනයක් පැය කිහිපයකින් නිපදවුවත්, රෝල්ස් රොයිස් වාහන නිෂ්පාදනයට අධික කාලයක් ගතවෙනවා. එහි phantom (ෆැන්ටම්) වැඩි සුපිරිතම මාදිලියක කාර් එකක් නිර්මාණය කරන්න සති 10 ක් හෙවත් මාස දෙකහමාරක කාලයක් ගතවෙනවා. ඒ සඳහා දායක වෙන ඉතා ඉහළ වැටුපක් ලබන හොඳ සේවක ප්‍රමාණයකුත් සමාගමට ඉන්නවා. ඉතිං රෝල්ස් රොයිස් වාහන නිෂ්පාදනයට වැඩි පිරිවැයක් වැය වෙනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here