ලංකාවේ දේශපාලන පක්ෂ වල ඉතිහාසය – Saru News Media

0
2

දේශපාලන පක්ෂ එහෙම නැත්නම් පක්ෂ දේශපාලනය කියන දේ මිනිස්සුන්ට තිත්ත වෙලා තියෙන අද වගේ කාලෙක අපි මේ කතා කරන්න හදන මාතෘකාව සමහර අයට ටිකක් සෙට් වෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඉතින් දේශපාලන පක්ෂ වල කැරැට්ටුව වගේම ඉතිහාසයත් දැනගෙන ඉන්න එක අපි කොයි කාටත් ගොඩක් වැදගත්. ඉතින් එහෙනම් අපි කතා කරමු ලංකාවේ දේශපාලන පක්ෂ කිහිපයක ඉතිහාසය ගැන. ඊට කලින් පොඩ්ඩක් ලංකාවේ දේශපාලන පක්ෂ බිහි වීමේ ඉතිහාසය පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් වූ දා ඉඳල ම ඊට එරෙහිව නොයෙකුත් නැගී සිටීම් සහ කැරලි රට පුරා ඇති වුණා. ඒ වගේ නොයෙකුත් කැරලි අතරේ විවිධ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරු ලංකාවේ පාලනය ගෙන යමින් තිබුණා. කැරලි සහ මහජන නැගී සිටීම් නිසා ඒවට නිහඬව ඉන්න බ්‍රිතාන්‍ය ආණ්ඩුවට පුළුවන් වුණේ නෑ. ඒ නිසා වරින් වර එක එක ප්‍රතිසංස්කරණ හරහා මේ පාලනය ජනතාවගේ ඉල්ලීම් අනුව ගෙනියන්න බ්‍රිතාන්‍යයන් උත්සහ ගන්නවා. ඒ අනුව 1931 දී, සුවිශේෂී ජයග්‍රහණයක් විදිහට සර්ව ජන ජන්ද බලය ලංකාවේ ජනතාවට ලැබෙනවා ආසියාවේ සර්ව ජන ජන්ද බලය ලැබුණු පළවෙනි රට විදිහට. නැවත 1944 දි සෝල්බරි කොමිසම හරහා සුළු ජාතීන්ගේ අදහස් පක්ෂ කිරීමේ සහ පාලනයට දායක වීමේ අයිතිය ලබා දෙමින් ප්‍රතිසංස්කරණයක් ගේනවා. ඉන් පස්සේ තමයි ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමය ක්‍රමානුකූලව ආරම්භ වෙන්නේ.


එක්සත් ජාතික පක්ෂය කියන්නෙ ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂ වලින් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ පක්ෂය පිහිටුවන්නේ 1946 සැප්තැම්බර් 6 වෙනිදා. ලංකාවේ විධායක ජනාධිපතිවරු කිහිප දෙනෙකුත්, අගමැතිවරුන් කිහිප දෙනෙකුත් බිහි කරන්න එක්සත් ජාතික පක්ෂය සමත් වෙලා තියෙනවා. ලංකාවට නිදහස ලැබෙන්න කලින් ඉඳන් ම නොයෙකුත් ප්‍රතිසංස්කරණ හරහා ලංකාවේ පාලන ව්‍යුහය වෙනස් කරන්නට ඒ වගේම ජනතාවගේ අදහස් වලට ඇහුන්කම් දෙන්න බ්‍රිතාන්‍ය රජය නැඹුරුවක් පෙන්නලා තියෙනවා. ඒ අනුව සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ හරහා ලංකාවේ පාලනය ඉදිරියට අරන් යන්න දේශපාලන පක්ෂ ක්‍රමයක අවශ්‍යතාවය මතු වෙමින් තිබුණා. ඒ වෙනුවෙන් තමයි එක්සත් ජාතික පක්ෂය බිහි වෙන්නේ. ඒ ඩී. එස්. සේනානායක මහතාගේ නායකත්වය සහ මූලිකත්වයෙන්. 1944දි ලංකාවට ලබා දුන්න සෝල්බරි ප්‍රතිසංස්කරණය නිසා විධිමත් දේශපාලන පක්ෂ ක්‍රමයක අවශ්‍යතාව ඒ වෙද්දී ඇති වෙලා තිබුනා. ඒ හේතුව නිසා සුළු ජාතික නියෝජනය සහිත ව තමයි එක්සත් ජාතික පක්ෂය බිහි වෙන්නේ. ඒ වගේම විශේෂයෙන් ආරම්භයේ ඉඳන් ම දක්ෂිණාංශික ප්‍රතිපත්තියට නැඹුරු වුනු පක්ෂයක් විදිහට තමයි එජාප ය ක්‍රියා කලේ. ඒ වගේම ඉඩම් අහිමි ජනතාව වෙනුවෙනුත් කෘෂිකර්මය වෙනුවෙනුත් එජාපයේ වගේම සේනානායක මහතාගේත් උනන්දුව අගය කරන්න ඕනේ. පාලනය සම්බන්ධව එජාපයේ මැදිහත් වීම ගැන කතා කලොත්, 1947 ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයෙන් ස්වාධීන ලංකාවේ පළමු අග්‍රාමාත්‍යවරයා විදිහට ඩී. එස්. සේනානායක මහතා තේරී පත් වෙනවා. ඔහු පදවිප්‍රාප්ත වෙන්නේ ලංකාව නිදහස ලබාගන්න කලින්. ඔහු 1952 හදිසි අනතුරකින් මිය යනවා. ඉන් පස්සේ අග්‍රාමාත්‍යවරයා විදිහට තේරී පත් වෙන්නේ ඩී. එස්. ගේ පුත් ඩඩ්ලි සේනානායක. මේ වෙද්දී ලංකා ඉතිහාසයේ වැදගත් චරිතයක් වුනු එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාත් එජාපයේ සාමාජිකයෙක් විදිහටයි හිටියේ. 1951 ඔහු එයින් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කරනවා.

 


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවන්නේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ මූලිකත්වයෙන්. ඒ 1951 සැප්තැම්බර් මාසේ 2 වෙනිදා. ඒ වෙද්දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයෙක් විදිහට හිටපු බණ්ඩාරනායක මහතා විපක්ෂයේ අසුන් ගත්තාට පස්සේ තමයි මේ පක්ෂය පිහිටුවන්නේ. ඉන් පස්සේ 1952 තමයි ඔවුන් පළවෙනි මැතිවරණයට මුහුණ දෙන්නේ. එයින් ආසන 9ක් එම පක්ෂයට හිමි වුණා. ඉන් පස්සේ 1956 පවතී මැතිවරණය අවස්ථාවේ ශ්‍රීලනිපය තවත් පක්ෂ දෙකක් එක්ක එකතු වෙලා මහජන එක්සත් පෙරමුණ විදිහටයි මැතිවරණයට තරග කලේ. එයින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගන්න ඔවුන් සමත් වෙනවා. හැබැයි 1959 සැප්තැම්බර් මාසේ බණ්ඩාරනායක මහත්තයා ඝාතනයට ලක් වෙනවා. ඉන් පස්සේ විජයානන්ද දහනායක මහතා අග්‍රාමාත්‍යවරයා විදිහට පත් වුනත් පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් ඇති වීම නිසා 1960 මාර්තු මාසයේ නැවත පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්නට සිද්ධ වෙනවා. ඒකෙන් කිසි පක්ෂයකට පැහැදිලි බහුතරයක් නො ලැබීම නිසා ආණ්ඩු පක්ෂය වුනු එජාප ආණ්ඩුව බිඳ වැටුණා. ඉන් පස්ස 1960 මාර්තු මාසයේ නැවත මැතිවරණයක් පවත්වන්න සිද්ධ වුණා. එයින් ජයග්‍රහණය කල ශ්‍රීලනිපය ආණ්ඩු බලය හිමිකරගන්න සමත් වුණා වගේම ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය විදිහට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය තේරී පත් වුණා.

 


අපි කවුරුත් දන්නා විදිහට ජනතා විමුක්ති පෙරමුණ පිහිටුවන්නේ රෝහණ විජේවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ 1965 මැයි 14 වෙනිදා. 1960 දී උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වුනු විජේවීර මහතා 1964 නිවාඩුව සඳහා මෙරටට පැමිණියත් නැවත රුසියාව වෙත පිටත් වීමට ඔහුට වීසා ලැබෙන්නේ නෑ. ඒ නිසා ඔහු රුසියාවේ සිටියදීත් කටයුතු කරපු දේශපාලනය වෙත පිවිසෙනවා. ඒ අනුව පක්ෂයේ ආරම්භක සාකච්ඡාව සඳහා 7 දෙනෙකුගේ පිරිසක් සහභාගී වුනු අතර එහි මූලික අරමුණක් වුණේ නිර්ධන පන්තියට රාජ්‍ය බලය ලබා ගැනීමයි. ඒ අරමුණින් ක්‍රියාත්මක වුනු ජවිපෙ දේශපාලන ක්‍රියාකාරකම් හේතුවෙන් එහි නායකයා වූ රෝහණ විජේවීර 1970 මැයි 12 වෙනිදා පොලිස් අත්අඩංගුවට පත් වෙනවා. පස්සේ 1970 ජූලි 9 වෙනිදා ඔහු නිදහස් වෙනවා. ඉන් පස්සේ දීපව්‍යාප්තව තමන්ගේ දේශපාලන ක්‍රියාකාරකම් වඩා තියුණු අන්දමින් කරගෙන යන්න ඔවුන් උත්සහ ගන්නවා. විශේෂයෙන් පන්ති 5 සංකල්පය හරහා සාමාජිකයින් සම්බන්ධ කර ගැනීම වැඩි වුණා. ඒ අනුව එවකට සමගි පෙරමුණු ආණ්ඩුව ජවිපෙ ඔවුන්ගේ ප්‍රධාන සතුරෙකු විදිහට හඳුනා ගත්තා. ඒ නිසා නැවත විජේවීර පොලිස් අත්අඩංගුවට ගත්තා. ඔන්න ඔය විදිහට නොයෙකුත් කැරලි අතරින් ජවිපෙ තමන්ගේ දේශපාලන දර්ශනය ඉදිරියට අරගෙන ගියා.

 


එවකට සිහළ උරුමය කියන ගිහියන් මූලිකත්වයෙන් පැවති දේශපාලන පක්ෂය පූජ්‍ය පක්ෂය වෙත පූජා කිරීමෙන් අනතුරුව එහි නම ජාතික හෙළ උරුමය විදිහට වෙනස් කෙරුණා. මෙහි ප්‍රාරම්භක සාමාජිකයින් විදිහට එල්ලාවල මේධානන්ද හිමි, ඕමල්පේ සෝභිත හිමි, අතුරලියේ රතන හිමි, කොටපොල අමරකිත්ති හිමි, කොළොන්නාවේ සුමංගල හිමි, උඩුවේ ධම්මාලෝක හිමි යන හිමිවරුත් තිලක් කරුණාරත්න සහ පාඨලී චම්පික රණවක යන ගිහි පාර්ශ්වයත් මූලික වුණා. එවකට භික්ෂූන් වහන්සේලා දේශපාලනයට පිවිසීම සම්බන්ධව පොදු සමාජයේ යහපත් ප්‍රතිචාර වගේම අයහපත් ප්‍රතිචාරත් පැතිරෙමින් තිබුණා. “ධර්ම රාජ්‍යයක් වෙනුවෙන් පාරමිතා පෙරහැර” යන තේමාව මුල් කරගෙනයි මේ දේශපාලන ව්‍යාපාරය ක්‍රියාත්මක වුණේ. 2004 මැතිවරණය වෙනුවෙන් මෙම පක්ෂය 2004 පෙබරවාරි මාසයේ නිර්මාණය වුණා. ඒ අනුව 2004 අප්‍රේල් පැවති මැතිවරණයෙන් ආසන 9ක් දිනා ගැනීමට එම පක්ෂය සමත් වුණා. ක්‍රමයෙන් නොයෙක් ගැටුම් සහ මතභේද නිසා බොහෝ සාමාජිකයින් පක්ෂය අතහැර ගියා. පසුව අතුරලියේ රතන හිමි සහ පාඨලී රණවක යන අය පක්ෂය ස්ථාවර කරන්නට සමත් වුණා.


ලංකාවේ පැරණිතම දේශපාලන ව්‍යාපාරය විදිහට ලංකා සමසමාජ පක්ෂය නිර්මාණය වෙන්නේ 1935 දෙසැම්බර් 18 වෙනිදා. 1931 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ වලට විරුද්ධව නැගී සිටි ලංකාවේ තරුණ සංගම් වල සාමාජිකයින්ගේ එකතුවෙන් තමයි ලංකා සමසමාජ පක්ෂය පිහිටුවන්නේ. සමාජවාදි මූලධර්ම මත පිහිටමින් ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනය අවසන් කිරීම වෙනුවෙන් ඔවුන් අරගල කළා. විශේෂයෙන් 1935 විදේශයන් සිට ලංකාවට පැමිණි ආචාර්ය එන් එම් පෙරේරා, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, පිලිප් ගුණවර්ධන වගේ වාමාංශික නැඹුරුවක් සහිත පුද්ගලයින්ගෙන් තමයි මේ පක්ෂය නිර්මාණය වුණේ. ඉන් පස්සේ දෙවෙනි ලෝක යුද්ධය ආරම්භ වීමත් එක්ක එහි බෙදීමක් නිර්මාණය වෙනවා. ඊට හේතුව වුණේ යුද්ධය සම්බන්ධයෙන් ඇති කර ගත යුතු ස්ථාවරය පිළිබඳ බෙදීමයි. 1947 වෙද්දී මේ වාමාංශික ව්‍යාපාරය කොටස් කිහිපයකට බෙදී ගොස් තිබුණා.

 


මහජන එක්සත් පෙරමුණ කියන්නෙ ලංකාවේ වාමාංශික මතධාරී දේශපාලන පක්ෂයක්. මෙහි මූලික රාමුව 1956 දී එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා විසින් පක්ෂ කිහිපයක එකතුවෙන් නිර්මාණය කල දේශපාලන සන්ධානයක හැඩය වුණා. එය 1956 මැතිවරණ ජයග්‍රහණයෙන් පස්සේ එහි පාර්ශව කරුවන් වුනු පිලිප් ගුණවර්ධන සහ විලියම් ද සිල්වා ආණ්ඩුවෙන් ඉල්ලා අස්වීමත් එක්ක මෙකී සන්ධානය බිඳ වැටුණා. පස්සේ 1959 නැවත පිලිප් ගුණවර්ධන සහ විලියම් ද සිල්වා ගේ මූලිකත්වයෙන් එහි මූලික ප්‍රතිපත්ති මත පිහිටා නැවත පක්ෂයක් ලෙස මහජන එක්සත් පෙරමුණ පිහිටුවා ගන්නවා. පස්සේ 1960 මැතිවරණයෙන් ආසන 10ක් දිනාගන්නට ම.එ.පෙ සමත් වෙනවා. පස්සේ ලංකා කොමියුනිස්ට් පක්ෂය සහ ලංකා සමසමාජ පක්ෂය එක්ක එකතු වෙලා එක්සත් වාමාංශික පෙරමුණ පිහිටුවා ගන්නවා.

 


දෙමළ ජාතික සන්ධානය පිහිටුවන්නේ 2001 ඔක්තෝබර් මස 20 වෙනිදා දෙමළ සටන්කාමී සංවිධාන සහ දෙමළ ජාතිකවාදී පක්ෂ වල එකතුවෙන්. මූලිකවම දෙමළ ජාතිකයින් සඳහා වෙනම රාජ්‍යයක් සහ ස්වයං නිර්ණ අයිතිය වෙනුවෙන් තමයි මේ පක්ෂය බිහි වෙන්නේ. අපි හැමෝම දන්නා විදිහට LTTE සංවිධානයේ දේශපාලන මුහුණුවර තමයි TNA කියන්නෙ. 2001 මේ සන්ධානය බිහිකරගත්තේ මූලිකවම 2001 මැතිවරණයට තරග කිරීමටයි. ඒ දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක එකතු වීමෙනුයි. ඉතින් මේ මැතිවරණයට ඔවුන් ඉදිරිපත් වුණේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ කියන නම සහ ලාංඡනය යටතේයි. එහි දී ඔවුන් පාර්ලිමේන්තුවේ ආසන 225න් 15ක් දිනාගන්නට සමත් වුණා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here