ලංකාවේ සුප්‍රකට බුද්ධ ප්‍රතිමා – Saru News Media

0
14

 

මහාවංශය අධ්‍යයනය කරපු සමහර  ඉතිහාසඥයෝ පළ කරන අදහස තමයි ලෝකයේ පළමු වතාවට බුද්ධ ප්‍රතිමා නිර්මාණය කළේ ලංකාවේ කියන මතය. ඒ මතය ඇතැම් තැන්වල විවාදයට ලක් වුණත්, බුද්ධ ප්‍රතිමාව අපේ වන්දනා මානවල ප්‍රධාන ස්ථානයක් ගන්නවා කියන කාරණය අවිවාදිතයි. බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වගේම ගුණ කදම්භයත් බුද්ධ ප්‍රතිමාවට  එකතු කරන්න අපේ පැරණි කලාකරුවන් සමත් වුණා. අපි අද කතා කරන්න යන්නේ ලංකාවේ අපේ වන්දනාමානයට ලක් වන විශිෂ්ට ගණයේ බුද්ධ ප්‍රතිමා කිහිපයක් පිළිබඳව.

 

අනුරාධපුරයේ පිහිටලා තියෙන සමාධි පිළිමය බෞද්ධ අබෞද්ධ සියලු දෙනාගේ සිත් පහන් කරන ආකාරයේ නිර්මාණයක්. ඉන්දියාවේ නිදහස් සටනේ පතාක යෝධයෙකු වුණු ජවහර්ලාල් නේරු තුමා පවසා තිබෙන ආකාරයට එතුමා සිරගතව සිටියදී සිතේ සැනසීම ගොඩනගාගෙන ඇත්තේ සමාධි පිළිමයේ ඡායාරූපයක් දෙස බැලීමෙන් අනතුරුවයි. සමාධි පිළිමය නිර්මාණය වුණේ මොන රාජ්‍ය යුගයේ ද කියන එක විවාද සම්පන්නයි. ඇතැම් වාර්තා වලට අනුව සමාධි පිළිමය නිර්මාණය වෙලා තියෙන්නේ දේවානම්පියතිස්ස යුගයේදී. මේ වාර්තාව පදනම් කරගෙන තමයි ඉතිහාසඥයෝ බුද්ධ ප්‍රතිමා නිර්මාණය ලංකාවෙන් බිහිවුණා කියලා කියන්නේ.

 

වර්තමානයේ කොළඹ කෞතුකාගාරයේ තැන්පත්ව තිබෙන මෙම බුද්ධ ප්‍රතිමාව  අනුරාධපුර සමාධි බුදු පිළිමයට අතිශයින්ම සමාන කමක් දක්වනවා. යටත් විජිත යුගයේදී තොලුවිල ප්‍රදේශයෙන් හමු වීමෙන් අනතුරුව කොළඹට රැගෙන ආ මෙම බුද්ධ ප්‍රතිමාව තැන්පත්ව තිබූ මුල් පූජා ස්ථානය කුමක්ද යන්න පිළිබඳව එකඟත්වයක් නැහැ. නමුත් මථුරා සම්ප්‍රදායේ ආභාසය ලබා ඇති මේ ප්‍රතිමාව අනුරාධපුර යුගයේ අග භාගයේ නිර්මාණය වූ ප්‍රතිමාවක් ලෙසට සැලකෙනවා.

 

ධාතුසේන රජතුමා විසින් කලා වැව ආසන්නයේ නිර්මාණය කරන ලද මෙම ප්‍රතිමාව හෙළ කලාකරුවාගේ විශිෂ්ඨත්වය ලොවට කියාපාන නිර්මාණයක්. ජනප්‍රවාද වලට අනුව මෙම පිළිමය නිර්මාණය කළ ගල්වඩුවා බරණ නම් තැනැත්තෙකු වන අතර ඔහු වෙනුවෙන් ධාතුසේන රජතුමා විසින් ගල්වඩුවාගම නම් නින්දගම ප්‍රදානය කොට තිබෙනවා. පද්මාසනයක වැඩවසන පරිදි නිර්මාණය කොට ඇති මෙම පිළිමය සිරස්පත සමග උසින් අඩි 46 ක් පමණ වෙනවා.

 

ඇතැම් ජනප්‍රවාද වලට අනුව සස්සේරුව හිටි පිළිමය බිහිවන්නේ අවුකන ප්‍රතිමා ශිල්පියා සමග තව ශිල්පියෙකු සිදු කළ තරඟයක ප්‍රතිඵලයක් ලෙසටයි. කෙසේ වෙතත් එච්. සී. පී බෙල් වැනි පුරාවිද්‍යාඥයන්ගේ මතය අනුව මෙම ප්‍රතිමාව මෛත්‍රී බුද්ධ ප්‍රතිමාවක් වනවා. මෙම ප්‍රතිමාව සම්පූර්ණ නොවූ ප්‍රතිමාවක් ලෙසටත් හඳුන්වා දී ඇතත් මෙම පිළිමය පිළිබඳව පර්යේෂණය කළ පර්යේෂකයන්ට අනුව මෙම ප්‍රතිමාව අසම්පූර්ණ පිළිමයක් නම් නෙමෙයි. එහි ඇතැම් කොටස් හුණු බදාම ආදියෙන් සිදුකිරීම නිසා කාලයත් සමග එම බදාම ගැලවී යාමෙන් මෙම ප්‍රතිමාවේ අසම්පූර්ණ ගතිය ඇතිව තිබෙනවා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here