ලංකාවේ ප්‍රෞඩ ඉතිහාසයට සාක්ෂි සපයන අපේ වංසකතා – Saru News Media

0
18

කවුරු කොහොම කිව්වත් ජාතියක් විදිහට අපිට ආඩම්බර වෙන්න පුළුවන් කාරණා රාශියක් තියෙනවා. ඒ අතරින් ප්‍රධානම කාරණාවක් තමයි අඛණ්ඩව ලිඛිත ඉතිහාසයක් සහිත ලොව පැරණිතම ජාතිය විදිහට සිංහල ජාතියේ නම ඉතිහාස ගත වෙන එක. අපි අද කතා කරන්න යන්නේ ලංකාවේ ඉතිහාසය ලියා තබපු සහ ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කරද්දී අතිශයින්ම වැදගත් වෙන මූලාශ්‍ර කීපයක් ගැන. ඒ තමයි වංසකතා

 

මහාවංශය කියන ඉතිහාස ග්‍රන්ථය අපේ ජාතියත් එක්ක කොයි තරම් බද්ධ වෙලා තියෙනවද කියනවනම් ඇතැම් අය සිංහලයන්ගේ මානසිකත්වය මහාවංශ මානසිකත්වය කියලත් උපහාසාත්මක මුඛයෙන් ප්‍රකාශ කරනවා. 

නමුත් ඒ ආතක් පාතක් නැති මිනිස්සු මොනවා කිව්වත්, ලංකාවේ අපේ මිනිස්සුන්ට අගයක් නැති වුණත් මහා වංශය කියන්නේ ජාත්‍යන්තර වශයෙන් සම්භාවනාවට ලක් වෙච්ච ඉතිහාස ග්‍රන්ථයක්. උදාහරණයක් විදිහට ලංකාව විතරක් නෙමෙයි ඉන්දියාවේ ඉතිහාසය සම්බන්ධ ඇතැම් ගැටළු පවා නිරාකරණය කරගන්න පුළුවන් වුණේ මහාවංශයට පින්සිද්ද වෙන්න. මහාවංශය පිළිබඳව පරිපූර්ණ ලිපියක් ඉදිරියේදී අපි ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන නිසා මේ ලිපියෙ දී ඒ ගැන තවදුරටත් අපි වැඩි වශයෙන් කතා කරන්නේ නැහැ.

 

මහාවංශයටත් වඩා පැරණි ම වංසකතාව වෙන්නේ දීපවංශය. නමුත් මහාවංශයට සාපේක්ෂව දීප වංශයෙහි පුනරුක්ති සහ  අසම්පූර්ණ ස්වභාවයක් පවතිනවා. මොන දුර්වලතා තිබ්බත් ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කරද්දී දීපවංශයේ ඇති වැදගත්කම  අමතක කරන්න බැහැ. දීපවංශය තුළ වැඩි වශයෙන් භික්ෂුණී ශාසනය පිළිබඳව මහා වංශයටත් වඩා අතිරේක තොරතුරු සඳහන් වන නිසා ඇතැම් අය විශ්වාස කරන්නේ දීපවංශය භික්ෂුණින්වහන්සේලා විසින් රචනා කළා කියලා.

 

ගම්පොළ යුගයේ අවසානයේ සහ කුරුණෑගල යුගයේ ආරම්භක අවධිය අතරතුර  කාලය තුළ ධර්මකීර්ති සංඝරාජ ස්වාමීන් වහන්සේ විසින් රචනා කරපු නිකාය සංග්‍රහය තුළ  ශාසනික ඉතිහාස කතාව වගේම ලංකාවේ ඉතිහාසය පිළිබඳව විශාල කරුණු රාශියක් සඳහා එළියක් ලබා දෙනවා. විශේෂයෙන්ම ලංකාවේ මහායාන අදහස්වල නැගීමත් එක්ක ඇතිවුණු ව්‍යාකූල තත්ත්වය පිළිබඳව අනෙකුත් වංශකතාවල නැති තොරතුරු රාශියක් පාඨකයා වෙත ඉදිරිපත් කරනවා.

 

ඇතැම් විද්වතුන්ට අනුව ධාතුවංසය කියන්නේ රුහුණු රටේ වංසකතාව. කකුසඳ හිමියන් විසින් පාලි වංශ කතාව රචනා කර තිබෙන අතර සිංහල ධාතුවංසය එම කෘතියේ පරිවර්තනයක් නොව අනුවර්තනයක් ලෙස සැලකීම සුදුසු බව මේ පිළිබඳව අධ්‍යනය කළ ඉතිහාසඥයන්ගේ මතය වනවා. කොහොම වුණත් සේරුවාවිල තිස්ස මහා විහාරය පිළිබඳ වාර්තා එක් කරමින් ලියවිලා තියෙන ධාතුවංසය තුළින් අනෙකුත් වංශකතාවලින් අහන්න නොලැබෙන තොරතුරු රාශියක් දැන ගැනිමේ අවස්ථාවක් අපිට ලැබෙනවා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here