ලොවක් වසඟකල සුරූපිණිය මැර්ලින් මොන්රෝ – Saru News Media

0
4

සිනමාව ගැන කතා කරනකොට ඉහලින්ම කියවෙන නම තමයි හොලිවුඩ් කියල කියන්නේ. හොලිවුඩ් සිනමා නිර්මාණ ඒ තරම්ම සිනමා රසිකයින් අතරේ ප්‍රසිද්ධයි. මේ හොලිවුඩය ගැන කතා කරද්දී අදටත් නොවරදවා කියවෙන නමක් තමයි මැර්ලින් මොන්රෝ කියන්නෙ. ඇය හොලිවුඩ් අහසේ පායපු දීප්තිමත්ම තාරකාවක්. මරණයට පත්වෙලා වසර හැටකට පසුවත් තවමත් අමතක නොවුණු ප්‍රසිද්ධ චරිතයක්. රංගනය වගේම ඇයගේ සරාගී රූසපුවත් කාගෙත් කතාබහට ලක්වුණා. හොලිවුඩයේ වැඩිම කාලයක් තිස්සේ කතාබහට ලක්වෙන “Sex Symbol” හෙවත් සරාගීබවේ සංකේතය විදිහටත් මැර්ලින් මොන්රෝ අදටත් හැඳින්වෙනවා. ඉතින් අද මේ ලියන්න යන්නේ ඇගේ කතාව. පිටින් අපිට පෙනුන ඇගේ සුන්දරත්වයට වඩා දුක්බර ඇතුලාංතයක් ඇගේ මේ ජිවිත කතාවේ තියෙන බව කියවන ඔබටම තේරුම් යාවි.

අපි හැමෝම ඇයව හඳුනන්නේ මැර්ලින් මොන්රෝ නමින් වුණාට ඇගේ මුල් නම, ඒ කියන්නේ උපතේදී ඇයට තබන නම වෙන්නේ නෝර්මා ජීන් මෝටෙන්සන් කියන නමයි. පසුකාලීනව ඇය මවගේ පෙළපත් නාමය සමඟ ඇගේ නම නෝර්මා ජීන් බේකර් ලෙස වෙනස්කර භාවිතා කරනවා. මැර්ලින් කියල කියන්නේ අති සුප්‍රසිද්ධ ඇමරිකානු නිලියක්, ගායිකාවක් වගේම නිරූපණ ශිල්පිනියක්.

මැර්ලින් උපත ලබන්නේ 1926 වසරේ ජූනි පළමුවෙනිදා. ඇගේ මව ග්ලැඩීස් පර්ල් බේකර් නම්වූ කාන්තාවක්. පියා මවගේ දෙවන සැමියා වූ මාර්ටින් එඩ්වඩ් මෝටෙන්සන්. නමුත් මේ යුවලගේ විවාහයෙන් සුළු කාලයකදී මොවුන් නීතියෙන් වෙන්වෙනවා. ඒ වගේම ඇගේ සැබෑ පියා පිළිබඳව මතභේදාත්මක තත්වයකුත් ඇතිවෙන නිසා ඇයට කුඩාකාලයේ ඇගේ පියා දැකබලා ගැනීමේ වාසනාව හිමිවෙන්නේ නැහැ. ඒ වගේම ඇයගේ මවට පැවතුන මානසික අබාධමය තත්වයක් නිසා ඇයට ඇගේ ලමාකාලයෙන් වැඩි කොටසක් කැපකරු මාපියන් සමඟ සහ ළමා නිවාසවල ගත කරන්නටත් සිදුවුණා.

මැර්ලින් ගේ පියා විදිහට ඇගේ උප්පැන්න සහතිකයේ නම සඳහන් වෙන්නේ මාර්ටින් එඩ්වඩ් මෝටෙන්සන් කියන පුද්ගලයාගේ නම. නමුත් ඇගේ සැබෑ පියා ඔහු නොවෙන බවට විවිධ කතා පැතිරුණා. මැර්ලින් ගේ මරණයෙන් වසර 60 කට පසුව ‘Marilyn, Her Final Secret’ කියන වාර්තාමය චිත්‍රපට නිර්මාණකරුගේ මැදිහත්වීමෙන් මැර්ලින්ගේ දේහය එම්බාම් කල එම්බාම්කරුගෙන් ලබාගත් ඇගේ කෙස් ගසක් සහ ඇගේ සැබෑ පියා බවට සැකකළ චාල්ස් ස්ටැන්ලි ගිෆෝඩ් ගේ මී මුණුපුරාගෙන් ලබාගත් කෙල සාම්පලයක් සංසන්දනය කරමින් සිදුකල DNA පරීක්ෂණයකින් තහවුරු වෙනවා ඇගේ ජීවවිද්‍යාත්මක පියා චාල්ස් ස්ටැන්ලි ගිෆෝඩ් බව.

මැර්ලින් මොන්රෝ ඇගේ කෙටි ජිවිත කාලය තුල විවාහයන් තුනකට ඇතුලත් වෙනවා. නමුත් අවාසනාවන්ත ලෙස එම විවාහයන් තුනම සාර්ථක වෙන්නේ නැහැ.
ඇය මුලින්ම විවාහ වෙන්නේ ජේම්ස් ඩෝගර්ටි නම් පුද්ගලයෙකු සමඟ. ඒ ඇයට වයස අවුරුදු 16ක් තරම් ඉතා කුඩා වයසේ. නමුත් පසුකාලීනව ඇය නිරූපණ ශිල්පිනියක ලෙසින් ඇගේ වෘත්තීය ජීවිතට ඉදිරියට ගෙනයන්න ගන්නා තීරණය නිසා 1946 වසරේ එම විවාහයෙන් ඇය නීතියෙන් වෙන්වෙනවා.
දෙවන වර ඇය විවාහ වෙන්නේ ප්‍රසිද්ධ බේස්බෝල් ක්‍රීඩක ජෝ ඩිමැජියෝ සමඟ. ඒ 1954 වසරේදී. නමුත් ඒ විවාහයත් වැඩිකල් පවතින්නේ නැහැ. ඉතාම කෙටි කාලයකින් මේ යුවල දික්කසාද වෙනවා. නමුත් එයින් පසුවත් ඔවුන්ගේ මිතුදම අවසන් වෙන්නේ නැහැ. මැර්ලින්ගේ අවාසනාවන්ත මරණයෙන් පසු ඇගේ අවමංගල්‍යයේ සියලු කටයුතු සංවිධානය කලේ ජෝ විසින් බවත් ඇගේ මරණයෙන් වසර විස්සකට වඩා වැඩි කාලයක් සතියට තුන් වතාවක් ඇගේ සොහොනට රෝස මල් යවන්නට ඔහු කටයුතු කර ඇති බවත් සඳහන් වෙනවා.
ඇය තෙවෙනි වරට විවාහ වෙන්නේ ආතර් මිලර් නමැති පුද්ගලයා සමඟ. එයින් වසර පහකට පසුව ඒ දෙපල අසාර්ථක විවාහය නිමකරමින් 1961 වසරේදී නීතියෙන් වෙන්වෙනවා.

 

මැර්ලින් ඇගේ නිරූපණ දිවිය ආරම්භ කරන්නේ 1943 වසරේ. 1946 වසරේ ඡායාරූප නිරූපණ ශිල්පිනියක වශයෙන් Twentieth Century-Fox සමාගම සමඟ ගිවිසුම්ගතවීමත් එක්කයි ඇගේ නම “මැර්ලින් මොන්රෝ” ලෙස වෙනස් කරගැනීම සිදුවෙන්නේ. Fox සහ Columbia ආයතන සමඟ චිත්‍රපට කිහිපයක රංගනයෙන් පසු ඇය නැවත කාලයක් රැකියා විරහිතව කල් ගෙවනවා. ඒ කාලයේ ඇය නැවත ඡායාරූප නිරූපණයට යොමුවෙනවා. ඒ කාලසීමාවේ කැලැන්ඩරයක් සඳහා ලබාගත් ඇගේ නිරුවත් ඡායාරූප නිසා ඇයට නැවත චිත්‍රපටයක රංගනයට අවස්ථාව ලැබෙනවා. එතැන් පටන් නැවත රංගන දිවිය ආරම්භ කරන ඇය 1962 වසරේ මියයන තුරුම ඉතා ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක ලෙස නිර්මාණ විශාල සංඛ්‍යාවකට දායක වෙනවා.

මැර්ලින්ගේ නිලියක් විදිහට ඒ කාලයේ තිබුන පසිද්ධියට අමතරව ඇය ගැන විවිධ කටකතා පැතිරුණා. ඒ අතරින් ප්‍රසිද්ධම කටකතාවක් තමයි ඇය එවකට ඇමරිකානු ජනපතිව සිටි ජෝන් එෆ්. කෙනඩි සමඟ පෙම් පලහිලව්වක් පැවැත්වුවා කියන කතාව. ඒ කටකතා වලට ලොකුම උදව්වක් තමයි ජනපති ජෝන් එෆ්. කෙනඩිගේ 45 වෙනි උපන්දිනය වෙනුවෙන් මැර්ලින් මොන්රෝ ප්‍රසිද්ධීයේ ගායනා කල “Happy Birthday Mr. President” ගීතය. එය ඇයගේ අවසන් ප්‍රසිද්ධ දර්ශන කිහිපයෙන් එකක් විදිහටත් ඉතිහාසගත වෙනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here