ශ‍්‍රීලනිපය අතට ගන්න දයාසිරිට හොඳ පාරක්…

0
17

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ වර්තමානයේ මතුවී ඇති අර්බුද විසඳාගැනීම සදහාත්,පක්ෂය නැවතත් ජයග්‍රාහී මාවතට රැගෙන එමින් ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු සිදු කිරීම සදහාත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් තිලංග සුමතිපාල සහ පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර යන මහත්වරු, පක්ෂයේ දිස්ත්‍රික් නායකයන් , ආසන සංවිධායකවරු,පක්ෂයේ ක්‍රියාකාරිකයන් ඇතුළු පිරිසක් එක්ව 2024 අප්‍රේල් 25 වැනිදා පොදු එකගතාවයකට එළඹුණහ.

පිල් වශයෙන් බෙදී සිටින කිසිදු දේශපාලන කණ්ඩායම්කට ද්වේශ සහගත ලෙස ප්‍රහාර එල්ල නොකරමින් හුදෙක්ම ශ්‍රි ලංකා නිදහස් පක්ෂය රැකගැනීමත්, පක්ෂය තුළ දේශපාලන ක්‍රියාකාරකම්හි යෙදෙන සියලුදෙනාත් ,සියලුම දේශපාලන පාක්ෂිකයනුත් රැකගැනීම සහ ආරක්ෂා කිරීමත් සදහා මෙම හමුව සංවිධානය කළ බව තිලංග සුමතිපාල මහතා පැවසීය.

පක්ෂයේ සාමාජිකත්වය නොදරන අහසින් ආ කිසිම කෙනෙකුට පක්ෂයේ නායකත්වය ගැනීමට කිසිදු අවස්ථාවක් නැති බවත් ඉදිරියේදී පක්ෂයේ සියලුදෙනාගේම කැමැත්තෙන් ඝෘජු හා නිවැරදි තීන්දුවක් ගත හැකි හොඳ කශේරුවක් තිබෙන දක්ෂ නායකයෙකු පක්ෂය තුළින්ම බිහිකර ගන්නා බවද තිලංග සුමතිපාල මහතා එහිදී සදහන් කළේය.

ඔහු එහිදී වැඩිදුරටත් කියාසිටියේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබුණද දයාසිරි ජයසේකර මහතාටද ඒ සඳහා හොඳ අවස්ථාවක් ඇති බවය.පක්ෂයේ නායකත්වය භාරගැනීමට ඔබ කැමතිදැයි මාධ්‍යවේදීන් දයාසිරි ජයසේකර මහතා ගෙන් ප්‍රශ්න කළ විට ඔහු කියාසිටියේ මේ ඒ පිළිබද කතා කිරීමට සුදුසු අවස්ථාව නොවන බවත් මුලින්ම කළ යුත්තේ ජනතාව පිළිගන්නා දක්ෂයන් සහ දූෂණයෙන් තොර පුද්ගලයන් යළි පක්ෂය වටා ගොනුකර ගැනීම බවය.

” නඩු දාලා,පක්ෂ සාමාජිකත්වය අහෝසි කරලා මේ ප්‍රශ්නය විසඳන්න බෑ.අපි ළඟ හොඳට වැඩ කරන්න පුළුවන් ලේකම්වරයෙක් ඉන්නවා.ඒ තමයි තිලංග සුමතිපාල මහතා.ඔහු කවදාවත් නඩුවලින් පැරදුණු කෙනෙක් නෙවෙයි.ඒ නිසා ඉදිරියේදී මොන නඩු දැම්මත් අපිට දිනන්න පුළුවන් කියලා විශ්වාසයක් තියනවා.මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මගේ මහ ලේකම් ධුරයත්,පක්ෂ සාමාජිකත්වයත් අහෝසි කරලා පක්ෂය මේ විදියට විනාශ කිරීම ගැන විතරයි මට දුකක් තියෙන්නේ.මේ වෙලාවේ මම එතුමාට අනුකම්පා කරනවා.”යැයිද දයාසිරි ජයසේකර මහතා එහිදී පැවසීය.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණ සිටි ආසන සංවිධායකවරු,දිස්ත්‍රික් නායකයන් ඇතුළු පාක්ෂිකයන්ද සිය දුක් ගැනවිලි සහ පක්ෂය රැකගැනීම සදහා ගත හැකි ඉදිරි පියවර සම්බන්ධයෙන් සිය අදහස් සහ යෝජනාද මෙහිදී ඉදිරිපත් කළහ.

පක්ෂය බිම් මට්ටමින්ද තවත් ශක්තිමත් කරමින් ඉදිරියේදී වඩාත් සැලසුම් සහගත ලෙස පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සිදුකරන බවටත්,සියල්ලන්ගේම අදහස් සහ යෝජනා මත කටයුතු කරමින් පක්ෂය රැකගන්නා බවටත් ප්‍රධාන පීඨිකාවේ අසුන් ගෙන සිටි නායකයෝ පැමිණ සිටි සියලුදෙනා ඉදිරියේ පොරොන්දු වූහ.

– Media unit

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here