ශ‍්‍රීලනිපය ගැන අවසන් තීන්දුවක් ගන්න අද සියළු දෙනා කොලඹට එයි…

0
7

අධිකරණ අමාත්‍යවරයාට අධිකරණයෙන්ම වාරණ නියෝගයක් පැනවීම දෛවයේ සරදමක් බවත්, අධිකරණ අමාත්‍යවරයා පිළිබඳව රටේ ජනතාව තුළ දැඩි අවිශ්වාසයක් ගොඩනැගුණු බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති  තිලංග සුමතිපාල මහතා  පැවසීය.

තමන්ගේ බලය සහ ශක්තිය අයුතු ලෙස යොදාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ධුරයට නීත්‍යානුකූල නොවන අයුරින් පත්වීම හේතුවෙන් විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාට අධිකරණයෙන්ම වාරණ නියෝගයක් නිකුත්වීම තනතුරටත්, දේශපාලනයටත් කැළලක් බවද තිලංග සුමතිපාල මහතා පෙන්වා දුන්නේය.

අධිකරණ ඇමතිවරයා නීති විරෝධී ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ධුරයට පත්වීමට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කිරීමත්, ඔහු මේ වනවිට ඉබි යතුරු දමා තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට බලෙන් ඇතුළුවීමට උත්සාහ කිරීම පොලීසිය විසින් වැළැක්වීමත්,  රටේ නීතියේ ආධිපත්‍යය සුරකින අධිකරණයේ සහ නීතිය ක්‍රියාත්මක කරන පොලිසියේ ස්වාධීනත්වය රට හමුවේ තහවුරු කළ සුවිශේෂී අවස්ථාවක් බවත් ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කොළඹ 10,ඩාර්ලි පාරේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලයේදී 2024 අප්‍රේල් 24 වැනි දින  විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මහ ලේකම්වරයා මේ බව සදහන් කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නීතිය පිළිබඳ නිසි හැඟීමක් නොමැතිව හිතුමතේ තීරණ ගනිමින් අද වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශාල වශයෙන් පහතට ඇදදමා ඇති බවත්,ඔහු එවැනි අත්තනෝමතික තීරණ ගැනීම පිළිබඳ තමන් ඇතුළුව පක්ෂයට ආදරය කරන සියලු දෙනා දැඩි ලෙස කනගාටුවටත් කම්පනයටත් පත්ව සිටින බවද තිලංග සුමතිපාල මහතා මෙහිදී සඳහන් කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්ෂය තවදුරටත් ඉදිරියට ගෙනයා හැකි බවට විශ්වාසයක් පක්ෂයේ සාමාජිකයන් තුළ නොමැති බවත්  ඔහු කෙරෙහි පක්ෂයේ සාමාජිකයන් තුළ තිබූ විශ්වාසය ඔහු විසින්ම මේ වනවිට මුළුමනින්ම අහිමි කරගෙන ඇති බවද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.

පක්ෂය වර්තමානයේ පත්ව සිටින තත්ත්වයෙන් මුදවා ගැනීමට සදහා ගත යුතු  ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡා කිරීමට  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු,පළාත් සභා මන්ත්‍රීවරු,ආසන සංවිධායකවරු ඇතුළු පක්ෂයට ආදරය කරන සියලුදෙනාට 2024 අප්‍රේල් 25 වැනි දින එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය වෙත ඇරයුම් කර ඇති බවත්,සියලු වාද භේද අමතක කර පක්ෂයේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සියලුදෙනා ඒ සදහා එක්වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත්  තිලංග සුමතිපාල මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

– ගීත් ගුණසේකර

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here