හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ නව ආයෝජන කලාපයක් – Saru News Media දේශීය පුවත්

0
10

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්ත වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වන “උමා දිය ජනනි” බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන – ශ්‍රී ලංකා ජනාධිපතිවරුන්ගේ සුරතින් අද (24) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරුනා

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

අද මෙම අවස්ථාවට සහභාගිවීමට කරන ලද ආරාධනය පිළිගැනීම පිළිබඳව මම ඉරාන ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා. මෙම අවස්ථාව අප දෙරට අතර වඩා සමීප සබඳතාවක් ඇති කළ අවස්ථාවක් ලෙස මා දකිනවා.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබුවේ මගේ ධූර කාලයට පෙර සිටි නායකයන් බව කිව යුතුයි. ඒ වගේම වියළි කලාපයට ජලය ලබාදෙන මෙම ව්‍යාපෘතිය පිළිබඳ විශේෂ උනන්දුවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් දක්වනු ලැබුවා. මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමේ වගකීම හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා විසින් භාරගෙන කටයුතු කළා.
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී විවිධ අභියෝගවලට මුහුණ දීමට සිදු වුණා. නමුත් අප දෙරටටම අභියෝගවලට මුහුණ දී මනා පළපුරුද්දක් තිබෙනවා. ඒ නිසා අපි මෙම අභියෝගයටද සාර්ථකව මුහුණ දුන්නා.

ඒ වගේම මෙම උමා ඔය ව්‍යාපෘතිය අප දෙරටේම පැරණි වාරි සම්ප්‍රදායන් දෙකෙහි එකතුවක් ද වෙනවා. ඉරානයේ පරිසියාව සහ ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ වාරි සම්ප්‍රදාය මෙහි තිබෙනවා. ඉරානයේ තාක්ෂණික දැනුම නොතිබෙන්නට අපට උමා ඔයේ ජලය කිරිඳිඔයට ගෙන යාමට අවස්ථාවක් නොලැබෙන බව කිව යුතුයි.

ඉරානයේ තාක්ෂණික හැකියාව සෑම ක්ෂේත්‍රයක් පුරාම විහිඳී ගොස් තිබෙනවා. ඉරානය සිය රටේ තාක්ෂණික දියුණුව තමන් විසින්ම පවත්වාගෙන යන රටක් බව ද කිව යුතුයි. ඒ නිසා අප දෙරටටම පොදු කරුණු අප විසින් ශක්තිමත් කරගත යුතුයි. අප සියලු දෙනා ගෝලීය දකුණේ රටවල්. ගෝලීය දකුණේ රටවල් සිය අනන්‍යතාවය සහ ස්වාධීනත්වය තහවුරු කර ගනිමින් සිටින අවස්ථාවක මෙවැනි ව්‍යාපෘති ඉතා වැදගත් වෙනවා.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හරහා ඉරානය අපේ රටේ වියළි කලාපයේ ජනතාවට ජලය ලබාදීමට දායක වී තිබෙනවා. එමඟින් එම ජනතාවට අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් ලබා දී තිබෙනවා. වියළි කලාපයට ජලය ලබාදීම යනු එම කලාපයේ ජනතාවට ජීවත්විමේ අයිතිය ලබාදීමයි. ගිරුවාපත්තුවෙන් මෙහා මාගම්පත්තුවේ තිබෙන නියඟය නිසා එම ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටිනවා. එසේ නම් අද අප සිදු කර තිබෙන්නේ උඩවලවේ තිබෙන බහුකාර්ය ක්‍රමය, කිරිඳිඔයට ගෙන ඒමයි.

එම වාරි ක්‍රමවේදය වගේම හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ නව ආයෝජන කලාපයක් ආරම්භ කිරීමට ද අප සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා චීනයේ සිනොපෙක් සමාගමට ඉන්ධන පිරිපහදුවක් සඳහා අප දැනටමත් අනුමැතිය ලබා දී තිබෙනවා. මේ සමඟ හම්බන්තොට දිස්ත්‍රික්කයට නව ආර්ථිකයක් ලැබෙනවා.

මෙම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිසා හෙක්ටයාර් 6000ක් යල මහ දෙකන්නයේ වගා කිරීමට ගොවි ජනතාවට හැකියාව ලැබෙනවා. ලංකාවේ වැඩිම වී නිෂ්පාදනයක් සිදු කරන්නේ උඩවලවේ ප්‍රදේශයයි. ඒ වගේම දැන් හම්බන්තොට ප්‍රදේශයේද එම කටයුතු සිදු කිරීමට හැකි වනු ඇතැයි අප අපේක්ෂා කරනවා. ඒ සමඟ කෘෂිකර්ම නවීකරණ වැඩසටහන දකුණු පළාත තුළ ද ආරම්භ කිරීමට අපට හැකියාව ලැබෙනවා. ඒ වගේම බලශක්ති ක්ෂේත්‍රයට ද මෙමඟින් විශාල දායකත්වයක් ලැබෙනවා.
ඒ වගේම මෙම ව්‍යාපෘතිය මඟින් මෙගා වොට් 120ක ජල විදුලි බලයක් උත්පාදනය කෙරෙනවා. ගෝලීය දකුණේ දියුණුවන රටවල් ලෙස ඉරානය සහ ශ්‍රී ලංකාව එක්ව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව ඉරානය සහ ශ්‍රී ලංකාව අතර මීට වඩා සමීප සබඳතා ඇති කර ගනිමින් ඉදිරියට යමු කියා මම ප්‍රකාශ කරනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here