වෙනදට උදේට නැගිට්ටම අම්ම තේක ගේන්න කියපු අයියල, දැන් අහන්නෙ අම්මා අද කවුද වර්ජනේ කියල. බස් අය වර්ජනේ නං යනව කෝච්චියෙ, කෝච්චි අය වර්ජනේ නං යනව බස් එකේ, පොලිතීන් ගනං නිසා කඩකාරයො වර්ජනේ නං ගෙදරින්ම උයාගෙන යනව අන්න ඒ වගේ දවස ප්ලෑන් කරන්නෙ එදා දවසෙ වර්ජනේ අනුව. අපි මේ කියන්න යන්නෙ දුම්රිය සේවක, වෛද්‍ය වගේ වර්ජන නැතුව, වර්ජනේ කළොත් අනේ හොඳා කියල හිතෙන සේවාවන් ටිකක් ගැන.
අපිට ශක්තිමත් පොරෝ ලබාදියවු කියල ගස් කපන්නන්ගෙ සංගමේ වර්ජනයක් කරනවනං මිනිස්සු නැතත් කුරුල්ලො තටු දෙකෙන්ම අප්පුඩි ගහයි. අලි දවසම කුංචනාද කරයි. ඇයි ඉතිං මේ කපං යන විදියට මයිලක්වත් ඉතුරු වෙයිද කියල බයයි. හැබැයි ගස් කපන උන් වර්ජනේ කියල දැනගත්තම අර මහත දෙහෙත ගස් වැදි ඇමති පිස්සෙක් වගේ දුවයි. පොර සක්‍රයගෙන් රත්තරං පොරොව ඉල්ලල ගඟටත් පනියි.
හැමදාම මෙහෙම රිස්ක් පිට හොරකං කරන්න බෑ. දැන් සීසීටීවී කැමරා වැඩියි, කණ්ඩි උඩ වීදුරු කටු, අලුත් අලුත් සේප්පු, සංවිධානය වෙලා ගහන්න රෙඩි පිට ඉන්න මිනිස්සු වගේ බාධක උඩ මේ හොරකම කරගෙන යන්න බෑ කියල හොරු වර්ජනයක් දැම්මොත් වැඩේ ගොඩම ගොඩ. බැංකු සේප්පු, සිකියුරිටි අයියල, සොර බිය රක්ෂණවලට හුප්පෙ තමයි. ඒ නිසා හොරෙක් උනත් වර්ජනයක් කරන්න කලින් දෙපාරක් හිතන්න ඕන හොඳේ. ඔයාගෙ වර්ජනෙන් කෙලවෙන්නෙ තවත් මිනිහෙක්ගෙ රස්සාවකට වෙන්න පුළුවන්.
වයිෆ්ලා සාමාන්‍යයෙන් වැඩිපුරම කරන දේ මොකද්ද? කන්න බොන්න දෙනව, අපිව පිළිවෙල කරනව වගේ දේවල් කරාට වයිෆ්ලා වැඩිපුරම කරන්නෙ ඒ දේවල් නෙමෙයි. එයාලා වැඩිපුරම කරන දේ තමයි කියවන එක. තොරතෝංචියක් නැතුව අහවල් රටේ ජනාධිපතිගෙ ආරක්ෂකයා උගේ ගෑනිත් එක්ක උදේ කතා කරපු රහසත් කියවන්න එන වයිෆ්ල වර්ජනය කලොත් නං පිරිමි හත්දා මගුල් කයි. යමු රජුනේ පමා වෙනවා!
ඉස්සර කාලෙ පොඩි ට්‍රැෆික් එකක් හැදුනම කට්ටිය කිවුවෙ ආපෝ කවුරුහරි ඩයිවිං බැරි ගෑනු කෙනෙක් වාහනේ හරස් කරගෙන ඇති කියල. ඊටත් පස්සෙ අවිනීත බස් රථ රියදුරො පිරිල ඉතිරිලා ගිය නිසා ආපෝ බස් එකක් පාර හරහ හිර කරගෙන ඇති කියලා හිතන්න පෙළඹුණා. ඊටත් පස්සෙ දැන් වැඩේට එන ප්‍රතිචාරෙ ඊටත් වෙනස්. ආපෝ ට්‍රැෆික් පොලිසියෙන් පාරට බැහැල ඇති. ඒකයි ඔය හිරේ. ඒ දැන් කියන විදිය. ඒකත් ඉතිං නිකම්ම කියන දෙයක් නෙමෙයි.
මේ වැඩෙත් වයිෆ්ලගෙ වර්ජනේ වගේම තමයි. ඇයි ඉතිං සල්ලි ගන්න එක ඇරුණාම වෙන කිසිම දෙයක් කරන්නෙ නෑ.. ටිකට් දෙන්නෙ නෑ, ඉතුරු දෙන්නෙ නෑ, නියමිත තැනින් මගීන් බස්සන්නෙ නෑ, ආරක්ෂිතව වාහනයෙන් පිටමං කරවන්නෙ නෑ. හැබැයි දවසම කියෝනව. අන්න ඒ නිසා කොන්දොස්තර වර්ජනේ දවසක ඩ්‍රයිවර් මහත්තයට සල්ලි ටික දීලා ෂේප් එකෙ සද්ද බද්ද නැතුව නින්දක් ගහගෙන යන්න තියෙනවනං මරු.
රටේ වැඩිම වියදමක් දරන්නෙ කවුරුන් වෙනුවෙන්ද? රටේ වැඩිම හොරාකෑමක් සිද්ධ කරන්නෙ කවුරුන්ද? මේ ප්‍රශ්න දෙකටම උත්තරේ එකක්. ඒ නිසා ඒ අය වර්ජනේ කරනවනං රට වැසියට ඒ තරං දෙයක් නෑ. හෙට උදේට රෑ තිස්සෙ ඔලුව තියාගෙන හිටපු කොට්ටෙට බද්දක් ගහල ඇඳ චීනෙට විකුණයිද කියල බයෙන් නිදියන මිනිස්සුන්ට මේ ඇත්තො වර්ජනය කරනව තරං සතුටක් කොහෙන්ද දෙයියනේ.
ඉස්සර අවුන්ස ගානෙ කුඩුවලටත් නීති දැඩිව ක්‍රියාත්මක වෙන රටේ කිලෝ ගණංවලින් කුඩු අහුවෙද්දිත් සද්දයක් තිබුණෙ නෑ. කුඩුවලට මේ තියෙන අවදාන පහත වැටීම දරාගන්න බෑ කියලා ලංකාවෙ කුඩු ලොක්කො ටික වර්ජනේ කළානං කොහොමට හිටියිද? පහුවදාට පොකට් කාරයො, කප්පං කාරයො ටික සොම්බිලා ටික වගේ පාර දිගේ එයි.
Saru Fm Media