ක්‍රෂ් එකක් ඉන්නවා නම් සැපේ විඳින්න මේ වේදනා – Saru News Media

0
8

පැමිණි දුක් කඳ පැණි රහක් විදියට විඳින්න තියන ඉතා ම ලේසි ම ක්‍රමයක් තමයි බ්‍රෝ ඒකපාර්ශ්වීය ආදරේ කියන්නේ. රිදෙන එකේ උපරිමේට ම රිදෙනවා. හැබැයි ඒකෙත් අමුතු කික් එකක් තියෙනවා. ඉතින් අන්න ඒ විදියට එයා නිසා සැපේ විඳගන්න පුළුවන් වේදනා ගොන්නක ඔබ අයිතිකාරයෙක් නම් මේ ඔබේ දවස ගෙවෙන හැටි වෙන්නත් ඉඩ තියෙනවා.

නීරෝගී මිනිහෙක්ට පැය කීයක් ද මන්දා නිදාගන්න පුළුවන් කියලා දොස්තර මහත්තුරු කියලා තිබ්බට බුදු අම්මා පාන්දර තුනටවත් ඇහැ පියවෙන්නේ නැහැ. චුට්ටක් ඇහැ පියවේගෙන එනකොට ම කොහෙන් හරි එයා ඔළුවට එන නිසා නින්දත් පැත්තකට වෙලා ඉන්න පුරුදු වෙලා. එහෙම මනුස්සයෙක්ගේ මූණක් යකුනේ ඇස් යට වලවල බෝට්ටු පදිතෑකි. නප්පි නදර් වෙන්න ගසලා ඉන්නවා වගේ පේන සමහර මූණුවලට ඇත්තට ම එහෙම වෙලා තියෙන්නේ බීලා කොරලා නෙවෙයි නින්ද නැතුව. හදපු කතා නෙවේ ඉතින් කොච්චරවත් කවි සිංදුවල තියෙන්නේ රාත්‍රිය උදා වෙලත් නින්ද නේන හැටි.

මේ අනික් එක. බස් එකක, ලොතරැයි කූඩුවක, හන්දියේ අයියගේ කොත්තු පොට් එකේ දී වගේ ඕන ම තැනක දී ඇහෙන සින්දුවක් නිකන් තමන්ට ම ලියපු සින්දුවක් වගේ ඇහෙන එකත් අමුතු ම විදියේ වේදනාවක්. සින්දු අහලා අහලා කනට නිවනකුත් නෑ. හිතට නිවනකුත් නෑ. චිත්ත රූප මැවෙන එකේ කෙළවරකුත් නෑ. බස් එකක ජනේලෙට ඔළු ගෙඩිය තියාන පාර දිහා බලන් පිස්සෙක් වගේ යන්නේ පිස්සෙක් වගේ. සින්දුවක් ඇහුණම ලෝ බජට් එකේ ඒකට වීඩියෝ එකකුත් හදලා ඉවරයි.

ක්‍රෂ් එකක් ඇති වුණාම ඒ ගැන ක්‍රෂ් එක ඇරෙන්න ලෝකවාසී හැම එකා ම දන්නවා. කවුරු දැනගත්තත් හොඳ ම යාළුවෝ දැනගත්ත ම දේවාලේ ගිනි පාගන්න ගියා වගේ තමයි. මල් මල් සිතුවිලි හිත අස්සේ තියාගෙන ගානට හේත්තු වෙන්න යනකොට එකෙක් දෙන්නෙක් මැද්දට පැනලා චොර කරලා දානවා. ක්‍රෂ් එකයි ඔයයි නිකන් මේ නව ලිබරල්වාදය වගේ බරපතල දෙයක් ගැන කතා කරද්දිත් මුන් ටික මල් සින්දු කිය කියා පැණි හලාගෙන වටේ යනවා ඇඹල රෑන වගේ. ඊටස්සේ ඕක ක්‍රෂ් එකට බදර් වුණාම පොඩි අන්කම්ෆොර්ටබල් සීන් එකක් වෙනවා එතන ආය මූණ බලන්නත් බෑ වගෙ. හැබැයි ඉතින් යටි හිතින් විඳින්න ආසා වේදනාවක් මේක.

හතුරෙක්ටවත් වෙන්න හොඳ නැති දෙයක් ඉතින්. මේ කලාප කීපයක් තියෙනවා. ඉස්සෙල්ලා ම නම් තිබ්බේ මිත්‍ර කලාපය (friendzone). ඊට පස්සේ සහෝදර කලාපය ආවා. දැන් රීලෝඩ් කලාපය, ගුරු කලාපය, හොම්බ දිග කැමරා කලාපය වගේ කලාපවලට පවා වැටෙන්න වෙලා තියනවා. එයාට වැඩේ තේරිගෙන යනකොට තමයි මේ කලාපවලට දාලා අත පිහදාගන්නේ. සමහර ගස් ගෝන්නු නම් කිසිම තේරුමක් නැතුව ඔයාව මේ කලාපවලට දාන්න පුළුවන්. ඒක නම් ඇත්තමයි දේව සාපයක්.

උන්දැට ආදරෙයි කියන්න ඔයා දන්නවා. ඒත් මොන වන්නම නැටුවත් උන්දැ තේරුම් ගන්නෑ ඒක. ගට අරගෙන කෙලින් ම අහන්න තතනනවා ඉතින් පෙරහැරවල් දෙක තුනක් ගිහින් එන්න වෙලාව. මාර විදියට අසරණ වෙනවා ඉතින් මේ හෙන ම සංකීර්ණ මනුස්ස සිතුවිලි එක්ක. මනුස්ස ජීවිත හරි සරලයි. ඒවා මොකට අමාරුවෙන් සංකීර්ණ කරගන්න යනවදත් කියලා හිතෙන්න පුළුවන් වෙලාවකට. හැබැයි ‘මිතුදම් හොඳයි අහිමි වෙනවට වඩා’ කියලා හිතෙනවා අම්බානෙකට. ඉතින් උඩ බලාගෙන ඉන්නවා ආතක් පාතක් නැතුව.

සභාවෙන් අවසරයි. මේ තමයි ඔය ක්‍රෂ් කේස් එකේ තියන කිසිම ලොජික් එකක් නැති දේ. දැන් හිතන්න එයා ඔන්ලයින් ඉන්නවා. ඔයා මැසේජ් එකක් දානවා. එක්කෝ ඕක බලන්නේ නෑ. බැලුවත් ආය රිප්ලයි දාන්න තරම් ඔයා එයාගේ ජීවිතේ ඩයල් එකක් නෙවෙයි. මේ දේවල් දැන දැන ඔයා හිත ඌවා කරගන්නවා. ඇයි? තේරුමක් නැති ඒවාට හිත රිදවා ගැනීම මේ සම්බන්ධයෙන් තියෙන ඉතා වටිනා සාධකයක් නිසා. එයා වෙන කෙනෙක් එක්ක ගමනක් යනවා. පොටෝ කෑලි දානවා. ඉතින් ඔයාට දුකයි. ඒත් එයා ඔයාගෙත් නෙවෙයි. ඇයි? තේරුමක් නැති ඒවාට හිත රිදවා ගැනීම මේ සම්බන්ධයෙන් තියෙන ඉතා වටිනා සාධකයක් නිසා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here