චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිත පිරිස විපක්ෂ නායක හමුවෙයි

0
26

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් පිරිසක් විපක්ෂ නායක ප්‍රමුඛ සමගි ජන සන්ධානයේ නියෝජිතයන් අතර හමුවක් සිදුව තිබේ.

එම සාකච්ඡාවට අමතරව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ මධ්‍යම කාරක සභාවේ උප ඇමැතිනී සන් හයියන් අතර සාකච්ඡාවක් ද පවත්වා ඇත.

මෙහි ද ආර්ථික, වාණිජ, ව්‍යාපාර, දේශපාලන සබඳතා යන ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කර ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකාව සහ චීනය අතර ව්‍යාපාර සම්බන්ධතා ගොඩනැගීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු විය.

චීනයේ ආර්ථික සංවර්ධන මොඩලය මෙරටට ආදේශ කර රට පවතින තත්ත්වයෙන් ගොඩගත හැකි ක්‍රමවේදයක් සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වය අතර සාකච්ඡා සිදුව තිබේ.

මෙරට ආර්ථිකය නැවත පණ ගැන්වීම උදෙසා ඇමෙරිකානු ඩොලර් මිලියනයක ආයෝජනයක් කිරීමට අපේක්ෂා කරන බව චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් ප්‍රකාශ කර ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් මුහුණ දී ඇති ගැටලු‍ සම්බන්ධයෙන් ද පැමිණ සිටි දූත පිරිස දැනුවත් කරන ලදී.

 

මේ වසර මැතිවරණ වසරක් බැවින් එහි වැදගත් කමද විපක්ෂ නායකවරයා විසින් පැමිණ සිටි පිරිසව දැනුවත් කරන ලද අතර ජනතාව අපේක්ෂාවෙන් සිටින ජනතාවාදී පාලනයක් ගොඩ නැගීම වෙනුවෙන් තමා ඇතුළු සමගි ජන බලවේගය සූදානම් බව පෙන්වා දී තිබේ.

 

මෙම අවස්ථාව සඳහා චීන කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් එහි ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ මධ්‍යම කාරක සභාවේ උප ඇමතිනී සන් හයියන්, චීන තානාපති Qi Zhenhong, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ දෙපාර්තමේන්තුවේ නියෝජ්ය අධ්‍යක්ෂ ජනරාල් Lin Tao, මෙරට චීන තානාපති කාර්යාලයේ නියෝජිත චෙන් ෂියැන්ග්යුවාන්, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Li Jinyan, එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෙන් ජුන්, උප ඇමති ලේකම් ජින් යාන්, තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් ලෙස කටයුතු කරන ජින් එන්සේ සහ භාෂා පරිවර්තන ෂැං ගුයු එක්විය.

සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය නියෝජනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, මහාචාර්ය ජී. ඇල්. පීරිස්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, හර්ෂණ රාජකරුණා සහ නලින් බණ්ඩාර ඇතුළු පිරිස එක්වුහ.

 චීන කොමියුනිස්ට් පක්ෂයේ මෙම නියෝජිත පිරිස පසුගියදා ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සහ පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ද වෙන වෙනම හමුවී සාකච්ජා පවත්වා තිබිණ. 

 
(චතුරංග මේදිස්)

sajith china 1
sajith china 2
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here