දළඳා මාළිගාවේ කරඬුව වඩම්මපු අභිමානවත් ඇතුන් – Saru News Media

0
5

ලංකාවේ අපේ පෞරාණික උරුමය, සංස්කෘතිය කියන ඔය කොයි අතින් ගත්තත් බුද්ධ ධර්මයට මේ රටේ හිමිවෙන්නෙ ටිකක් ඉහළ තැනක්. ඒ රටේ ඉතිහාසයේත් ලොකු තැනක් බුදු දහමට උරුමවීම වගේම අදටත් රටේ බහුතරය බෞද්ධාගමිකයින් වීම නිසාත් වෙන්න පුළුවන්. කොහොම උනත් බෞද්ධ හැමෝගෙම වගේම රටේම මුදුන් මල්කඩ විදිහට අපි හඳුන්වන්නේ මහනුවර දළදා මාළිගාවේ තැන්පත් කරල තියෙන තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව හෙවත් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ. හැබැයි මේ විස්තරය ඒ ගැනනම් නෙමෙයි. ඒ දන්ත ධාතූන් වහන්සේ කරපිට තියාගෙන පෙරහැරේ ගමන් කරන්න තරම් වාසනාවන්ත වුණු සද්දන්ත කුලේ ඇත් රජවරු ගැනයි මේ කතන්දරේ. මේ කරඬුව වැඩමවීම හැම ඇතෙකුටම කරන්න බැහැ. ඒකට සද්දන්ත කුලේ ඇතෙකුගේ ලක්ෂණ පිහිටල තියෙන්න ඕන වගේම කාර්යයට උචිත මනා හික්මීමක්, බුද්ධියක් තියෙන්නත් ඕන. ඔය සියලු කාරණා සම්පුර්ණ කරපු ඇත්තුන්ට විතරයි මේ වාසනාව හිමිවෙන්නෙ. ඉතින් කියවලම බලමුකෝ එදා මෙදාතුර දන්ත ධාතූන් වහන්සේ, එහෙමත් නැත්තම් දළඳා කරඬුව වඩමවපු අභිමානවත් ඇතුන් කිහිප දෙනෙක් ගැන මේ විස්තරය.

 

දළඳා කරඬුව වැඩම කරවපු ඇතුන් කිව්වම අපි කාටත් මුලින්ම මතක් වෙන්නෙ මේ රාජා හස්තියාව. ඒ තරමටම හැමෝම අතරේ මේ පින්වන්ත සත්වයා හරිම ප්‍රසිද්ධයි. මේ ඇතා මියගියත් අදටත් ඇතාගේ ස්වභාවික හම යොදාගෙන ප්‍රතිනිර්මාණය කෙරුණු ජීවමාන පිළිරුව දළදා මාලිගාවේ කෞතුකාගාරයක දකින්න පුළුවන්.

මේ රාජා පුංචි පැටියෙක් සමයේ මඩකලපුව එරාවුර් ප්‍රදේශයේ වනාන්තරයකින් තමයි අල්ලාගෙන තියෙන්නෙ. මේ පැටියව මිලදී ගත්ත මහනුවර ගිරාගම වලව්වේ ටිකිරි බණ්ඩාර මාම්පිටිය දිසාවේ 1937 වසරේදී පූජා ඔප්පුවකින් ඇතාව දළදා මාළිගාවට පූජා කරනවා. එතැන් පටන් මාළිගාවේ ඇත් පන්තියේ හැදී වැඩෙන රාජා හස්තියා 1953 වසරේ තමයි මුලින්ම දළදා කරඬුව වැඩම කරවන්නේ. එතැන් පටන් වසර 37ක් පුරාවට මේ කරඬුව වැඩමවීමේ භාරදූර කර්තව්‍ය සිදුවෙන්නේ රාජා හස්තියා අතින්. 1986 දී එවකට ජනාධිපතිව සිටි ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් ජාතික උරුමයක් ලෙස නම්කෙරුණු රාජා හස්තියා 1988 වර්ෂයේදී මියයනවා. 

 

නැදුන්ගමුවේ රාජා කියන්නේ ඊළඟට අපි අතරේ හුඟක්ම ප්‍රසිද්ධ මේ වෙනකනුත් දළඳා කරඬුව වඩමවන කටයුත්තට උරදෙන හස්ති රාජයා. නැදුන්ගමුවේ රාජා හස්තියා මුලින්ම දළඳා පෙරහැර එක්ක සම්බන්ධ වෙන්නෙ 2005 වසරේදී. එදා ඉඳන් අද වෙනකන්ම සහභාගී වෙන හැම පෙරහැරකටම පා ගමනින්ම පැමිණීම මේ ඇතාගේ තවත් එක විශේෂත්වයක්.

නැදුන්ගමුවේ රාජා උපත ලබන්නේ ඉන්දියාවේ. ඒ 1953 වසරේදී පමණ. ඉන්දියාවේ මයිසූර් මහරජා විසින් දරුණු හිසරදයක් සුවකිරීම වෙනුවෙන් ප්‍රති උපකාර කිරීමක් විදිහට මේ නැදුන්ගමුවේ රාජා සහ ගංගාරාම විහාරයේ නවම් රාජා කියන ඇත් පැටවුන් දෙදෙනාව නීලම්මහර පුරාණ විහාරස්ථානයේ වැඩවාසය කළ වෙද හිමිනමකට තෑගි කරනවා. 1978 වසරේදී තමයි මේ ඇතා නැදුන්ගමුවේ ධර්මවිජය වෙද රාළහාමි මිලට ගන්නේ. එතැන් පටන් තමයි මේ හස්තියා නැදුන්ගමුවේ රාජා කියල නම් කෙරෙන්නේ. 

 

මිල්ලන්ගොඩ රාජා කියල කියන්නෙ ලංකාවේ දිගම දළ ඇති හස්තියා විදිහට වාර්තා අතරට එක්වුණ හස්තියෙක්. 1945 වර්ෂයේදී පුත්තලමේ ආණමඩුව ප්‍රදේශයේ වනාන්තරයකින් සොයාගැනුණු මේ ඇත් පැටවා  කෑගල්ලේ මොලගොඩ වාසය කල එම්. ආර්. ඒ. මිල්ලන්ගොඩ අප්පුහාමි මිලදී ගැනීමෙන් පසුව තමයි මිල්ලන්ගොඩ රාජා බවට පත්වෙන්නේ. දන්ත ධාතූන් වහන්සේ වැඩමවීමේ භාග්‍ය වගේම වසර 40කට අධික කාලයක් දළදා පෙරහැරේ ගමන් කිරීමේ භාග්‍ය ලබපු මිල්ලන්ගොඩ රාජා හස්තියා මියයන්නේ 2011 වර්ෂයේදී.

 

ඉන්දි රාජා කියන්නෙත් ඉන්දියාවේ උපත ලබපු හස්තියෙක්. ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා විසින් දළඳා මාළිගාවට පරිත්‍යාග කරපු මාළිගාවේ ඇත් පන්තියට අයිති හස්තියෙක්. ඉන්දියාවෙන් ආපු නිසාම ඉන්දි රාජා කියලා හඳුන්වන්නේ. මාළිගාවේ කරඬුව වඩම්මවන්න වාසනාවන්ත වුණ, ඒ වගේම අදටත් කරඬුව වඩමවන්න සුදුසුයි කියලා හඳුනාගත්ත ඇතුන් තුන්දෙනා අතරින් එක හස්තියෙක් තමයි මේ ඉන්දි රාජා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here