පරණ මතකයන් නැවත ගෙන එන පරිගණක ක්‍රීඩා – play the games you loved on web browser – Saru News Media

0
6

පරිගණක ක්‍රීඩා? අපෝ ඕවා සෙල්ලම් කරන්න එක්කෝ කම්පියුටරේ ඉන්ස්ටෝල් කරගන්න ඕන, ඊට පස්සෙ ඉඩකඩත් නෑ, ස්ලෝ වෙනවා, ළමයි ටිකත් ඇබ්බැහි වෙනවා, ඊටත් වඩා ඔෆිස් කම්පියුටර් එකේ ඕවා දැම්මොත් ගේම් ගගහා ඉන්න කියලා දිග නිවාඩුවකුත් ලොක්කා අරගෙන දෙනවා ෂුවර්.

ගොඩක් දෙනෙක්ට මෙහෙම හිතෙන්න පුළුවන්. ඒත් දැන්නම් පරිගණක ක්‍රීඩා පරිගණකයේ ස්ථාපනය කරගන්නෙ නැතුව ක්‍රීඩා කරන්නත් පුළුවන්. දැන් එහෙම කිව්වත් හිතයි පරණ ෆ්ලෑෂ් ගේම් ගැන කියන්න හදනවා කියලා. අපෝ නෑ, ඒ කාලය පහුවෙලා දැන් හුඟක් කල්. දැන් බ්‍රවුසර් සහ ඒවා තොරතුරු හුවමාරු කරගන්නා ක්‍රම දියුණු නිසා, ඒ කියන්නෙ වෙබ් සොකට් වැනි තාක්‍ෂණයන් පැමිණ ඇති නිසා ෆ්ලෑෂ් අවශ්‍ය නැහැ. දැන් බොහෝ සමාගම් ඉන් ඉවත් වෙමින් HTML5 සමඟ රොද බැඳගෙනයි ඉන්නේ.

කොහොමහරි, වැඩ රාජකාරි අස්සෙ ආතතියට ලක් වෙනවාට වඩා පරිගණක ක්‍රීඩාවක් කරලා හිත නිදහස් කරගත්තාම කාර්යක්‍ෂමතාව වැඩි කරගන්න පුළුවන් වේවි. ඒත් ඔන්න *තාත්තාගෙ හඬින්* ඇබ්බැහි වෙලා එහෙම අහුවෙන්නෑ. හොඳද?

 

දැන් ඔන්න ගමේ කෝපි කඩේ දෙන්නෙක් දෙපැත්තෙන් ඕනි නෑ, පරිගණකය ඉස්සරහින් ඉඳගත්තාම අපි නොදන්න දාම් අදින්න පුළුවන්. සාමාන්‍ය අපි දන්න කියන නීතිරිති ටිකත් එක්කම නිපදවා තිබෙන මේ පරිගණක ක්‍රීඩාවේ නම් තිබෙන්නේ කොටු 8×8 පුවරුවක්. මොකද නියම දාම් ලෑල්ල කොටු 12×12 පුවරුවක්. දාම් ක්‍රීඩාව රස්තියාදු පැත්තට සැලකුවත් නුවණ වෙහෙසෙන හොඳ ක්‍රීඩාවක්. චෙස් වලින් මෙය වෙනස් වෙන්නේ ඉත්තන් ලෙස චරිත රැසක් නොතිබීමෙන් සහ ඇදේට ගමන් කිරීමෙනුයි. නෑ, කකුළුවො යන්නෙ හරහටනෙ. මෙයාලා වයඹ සහ ඊසාන වැනි උපදිශාවන් වලට තමයි යන්නෙ. චෙස්වල නානාප්‍රකාර චරිත වෙනුවට දාම් ක්‍රීඩාව ආරම්භයේදි නම් ඉන්නේ සොල්දාදුවො විතරයි. සමානාත්මතාවය! අන්නේකයි. ඉන් කෙනෙක්ට අනිත් පිලේ, ලෑල්ලේ කෙළවරට යන්නට පුළුවන් වුණොත් ඔහු රජු බවට පැමිණෙනවා. සොල්දාදුවොන්ට එක් කොටුවක් පමණක් ඉදිරියට යන්නට, ඉදිරියට හෝ පසුපසට ඉත්තන් කපන්නට පුළුවන් වුණත් රජතුමාට -එහෙමත් නැත්නම් කීප දෙනෙක් යවලා රජවරු ගොඩක් හදාගත්තොත් ඒ අයට- තමන්ගේ ගමන් මාර්ගයේ කෙළවර කොටුව දක්වා ම ඕනෑ තරම් දුර යන්න පුළුවන්. ඒනිසා තමන්ගෙ අන්තිම පේළෙියේ ඉන්න ඉත්තො ටික එළියට අරගන්නවා කියන්නෙ නුවණට හුරු දෙයක් නෙවෙයි. මේ පරිගණක ක්‍රීඩාව කරද්දි ඔබ ඉත්තො අදින්න ඕනෑ; අවශ්‍ය ඉත්තා මත ක්ලික් කරලා අනතුරුව යන්න ඕන කොටුව මත දෙවනුව ක්ලික් කිරීමෙනුයි. ක්ලික් කරගෙන ඇද්දොත් වෙන්නෙ බෝඩ් එක හරවලා බලන්න පුළුවන් වෙන එකයි.

ඉතින් මේ පැරැණි මතකයන් බොහොමයක් ගෙන එන මේ ක්‍රීඩාව ඔබට සබැඳිය හරහා ක්‍රීඩා කළ හැකියි. එහි දකුණු පස කුඩාවට ඇති ගේම්පෑඩයක අයිකනය ක්ලික් කරලා අවශ්‍ය නම් චෙස්, චෙකර්ස් වැනි ක්‍රීඩාවක් වුණත් තෝරාගන්න පුළුවන්.

 

ඔබ ඕනෑතරම් වීඩියෝවල දැකලා ඇති කැට ගොඩාක් එක පේළියට, විවිධ රටාවලට තියලා පොඩි තට්ටුවකින් ඒ ඔක්කෝම පෙරළීගෙන පෙරළීගෙන යන විධියට හදලා විනෝද වෙනවා. සමහර ඒවායෙ කෝපි කෝප්පය බොන්න අතට ගත්තාම ඒකට සවිවෙලා තිබුණ නූලක් අතහැරිලා ඊට පස්සෙ එහෙට මෙහෙට බෝල එහෙම විසිවෙලා, එක එක දේවල් උඩට පහළට ගිහිල්ලා, නළා පිඹලා, කාන්දම් වලට ඇලිලා පැයකට විතර පස්සෙ කියව කියවා හිටපු පත්තරේ පිටුවක් පෙරළෙන වගේ ඒවත් තියෙනවානෙ. ඉතින් ආස නැද්ද ලී කැබලි ටිකක් අරගෙන මේ වගේ ටිකක් විනෝද වෙන්න? පුළුවන්, ඊට පස්සෙ ඕවා තැන තැන දාලා එක එක අයගෙ කකුලට පෑගිලා කෑ ගහලා බැනුම් අහලා අන්තිමට ඇද්දා නම් අස් කරන්න කියලා අම්මගෙනුත් බැණුම් අහලා එක වැඩයි. අන්තිමට විනෝද වෙන්න ගිහින් වෙන්නෙ සෙල්ලම ලෙල්ලම වෙලා වැඩේ දෙල් වෙන එක. ඒත් ඔන්න තවදුරටත් ඒ ප්‍රශ්ණ නම් නෑ. බ්‍රවුසරේම ඉඳගෙන ඕනතරම් ලෑලි කැබලි තියලා, පෙරලලා විනෝද වෙලා බ්‍රවුසර් ටැබ් එක ක්ලෝස් කළා ම වැඩ ඔක්කොම ඉවරයි.

මෙතනින් ගිහින් මේ සෙල්ලම කරන්න පුළුවන්.

 

ම්ම්ම්.. ඒක නිකන් කෙමිස්ට්‍රි නමක් වගේ නේ? මේකයි, ඕකෙ ඉංග්‍රීසි නම Cube Runner හෙවත් පෙට්ටි දුවන්නා. මොකා? අනේ මන්දා කැමති නමක් හිතාගන්නකො. මේකයි සෙල්ලම: අපේ ඉස්සරහින් පෙට්ටියක් තියාගෙන ඒක තල්ලු කරගෙන නළයක් දිගේ පහළට රූටගෙන යන්නයි තියෙන්නෙ. ඒ යද්දි තවත් පෙට්ටි අපිට ඉස්සරහට හමුවෙනවා. ඒත් වට්ටි අම්මලා වගේ මුණගැහෙන මුණගැහෙන පෙට්ටිය එක්ක කතා කර කර ඉන්න බෑ. දුවගෙන යන්න ඕන. ඉතින් ඒ හමුවෙන පෙට්ටියක වැදුනොත් අපේ ආයුෂ අඩුවෙලා ක්‍රීඩාව අවසන් වෙනවා. මේක මවුස් එක දෙපැත්තට කරලා වේගයයි, ගමන් මාර්ගයයි වෙනස් කරගන්න පුළුවන්. හැබැයි වැඩිවෙලා සෙල්ලම් කරොත් නම් ඔළුව කැරකෙන්න ගන්නවා ෂුවර්. මටනම් මේක දැක්කාම මතක් වුණේ Windows 95වල තිබුණ අර බිත්ති අතරෙන් යන screen saver එක.

ඔබටත් ඒක මතක් වෙනවාද කියලා එහෙනම් මෙතනින් ගිහින් බලන්නකො:

 

දවස තිස්සෙම කරන්නෙ නයි අරින එක තමා, ඒ වුණාට පසුගිය දශකයේ අපි Nokia 1100 ෆෝන් වලින් කරපු ස්නේක් ගේම් එක ආයෙත් කරන්න අවස්ථාවක් ගැන තමා මේ කියන්න යන්නේ. නොදන්න අයට: මේකෙ කරන්න තියෙන්නෙ නයාට කන්න දෙන්න එක එක පැත්තට අරගෙන යන එක යි. අහඹු අවස්ථාවල අහඹු තැන්වල කෑම මතුවෙනවා. අපිට තියෙන්නෙ මුන්දැව එතෙන්ට arrow keys වලින් අරගෙන යන්නයි. හැබැයි අපිට තියෙන දැවැන්ත ප්‍රශ්ණෙ ම තමයි මේ ක්‍රීඩාවෙනුත් පෙන්නලා තියෙන්නෙ. කන්න නම් ආසයි හැබැයි කෑවාම ඇඟේ තියෙන ස්ටෝර්ස් එලියට පේන්න ගන්නවා, ඕකනෙ බැරි. ඉතින් මේ නයි හාදයාත් කන්න කන්න දිගින් වැඩි වෙන නිසා අන්තිම හරිය වෙද්දි කවන්න එක්ක යන්න අමාරුයි, ඌට ම උගේ ඇඟ කැවෙනවා. එහෙම වුණොත් සුයිසැයිඩ්. ඒ කිව්වෙ, ගේම් එක පරාදයි.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here