විෂාදය පරදවපු ප්‍රසිද්ධ පුද්ගලයින් – Saru News Media

0
10

අපි පහුගිය සතියක විෂාදය රෝගය ගැන කතා කළා. ඒ වගේම රෝගයේ ලක්ෂණ ගැනත් අපි මීට කලින් කතා කළා. ඒ ලිපි කියවපු කෙනෙකුට හොඳින්ම තේරුම් ගන්න පුළුවන් මේ රෝගයේ බරපතලකම වගේම රෝගයට ඇති ප්‍රතිකාර ක්‍රම ගැන. මේ කියන්න යන්නෙත් විෂාදය ගැනම කතාවක් තමයි. අපි කලිනුත් කිව්ව වගේම විෂාදය විතරක් නෙමෙයි, ඕනම වර්ගයක මානසික රෝගයකින් පෙලෙන පුද්ගලයෙක්ව අපේ සමාජය හඳුන්වන්නෙ පිස්සෙක් කියලයි. අද වෙද්දි මේ තත්ත්වය ඉස්සර තරම්ම බරපතල නොවුණත් තාමත් අතරින් පතර මානසික රෝගීන්ව හෑල්ලුවට ලක්කරන මිනිසුන් දකින්න නැතුවම නෙමෙයි. ඔන්න ඔය කාරණා නිසාම කෙනෙක් තමන්ට මානසික රෝගයක් ඇති බව පිළිගෙන ප්‍රතිකාර වලට යොමුවෙන්න හරිම බයයි. ඒ වගේම ප්‍රතිකාර වලට යොමුවෙලා නිරෝගී වුණු කෙනෙක් වුණත් ඒ අතීතය ගැන ප්‍රසිද්ධියේ කතාකරන්න අකමැතියි. ඒ හැමෝටම දැනගන්නත් එක්ක අද අපි හිතුවා විෂාදය ජයගත්ත ප්‍රසිද්ධ පුද්ගලයින් කිහිපදෙනෙක් ගැන තොරතුරු අරගෙන එන්න. 

 

 

ඇන්ජලීනා ජොලී කියන්නෙ අපි කවුරුත් දන්න සුප්‍රසිද්ධ ඒ වගේම සුරූපී හොලිවුඩ් නිළියක්. ඇය මේ වෘත්තීය සාර්ථකත්වය ලබාගැනීමට පෙර නව යෞවනියක්ව සිටින කාලයේ ඉතා දරුණු ලෙස මානසික අවපීඩනයෙන් පෙළුණු බව ඇය ප්‍රකාශ කරනවා. තමන්වම කපා කොටාගැනීමට සහ වෙනත් අයෙකු ලවා තමන්ව මැරවීමට පවා සිතුවිලි ඇයට පහළ වුණු බව ඇය ප්‍රකාශ කරනවා. නමුත් වෘත්තීයමය වශයෙන් සාර්ථක වුණු පසුව මේ විෂාදය මට්ටමින් ඇය මිදෙනවා. නමුත් 2007 වසරේදී නැවත ඇගේ මව පිළිකා රෝගය නිසා අභාවයට පත්වීමත් එක්ක ඇය විෂාදය රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න පටන් ගත් බවත් නව ක්‍රියාදාම චිත්‍රපටයක් සමඟ ගිවිසුමකට එළඹෙමින් කාර්යබහුල වීම නිසා ඒ තත්ත්වයෙන් මිදුණු බවත් ඇය ප්‍රකාශ කරල තියෙනවා. 

 

 

Brad Pitt කියන්නෙත් හැමෝම දන්න සුප්‍රසිද්ධ හොලිවුඩ් නළුවෙක් වගේම ඇන්ජලීනාගේ හිටපු ස්වාමි පුරුෂයා. 1990 දශකයේ ඔහු වෘත්තීය සාර්ථකත්වය ලබමින් ඉන්නා සමයේම තමයි ඔහු මේ විෂාදය තත්ත්වයට ගොදුරු වෙන්නෙ. ඔහු පවසන පරිදි අධික කෝපය සහ මානසික අවපීඩනය නිසා ඔහු අධික ලෙස මරිජුවානා භාවිතයට පවා ඇබ්බැහි වී තිබෙනවා. මොරොක්කෝ රාජ්‍යය වෙත ගිය ගමනකදී අධික දුගීභාවය සියැසින් දැක ඒ සම්බන්ධව ක්‍රියාකරන ආයතන සමඟ සම්බන්ධ වී දුප්පත්කම මැඩලීමට කටයුතු කිරීමට පටන් ගැනීමේ සිට ඔහු මේ තත්ත්වයෙන් මිදෙන්නට පටන් ගත් බව ඔහු ප්‍රකාශ කරනවා.

 

 

J.K. Rowling කියල කියන්නෙ අපි කවුරුත් දන්න සුප්‍රසිද්ධ හැරී පොටර් නවකතා මාලාව රචනා කරපු ගත්කතුවරිය. හැබැයි මේ කතාව රචනා කරන්න කලින් ඇගේ ජීවිතය හරිම දුක්බර කතාවක්. වයස අවුරුදු විසි ගණන් වලදී ඇයට සැමියාගෙන් දික්කසාද වෙලා කුඩා දියණියත් එක්ක තනිවෙන්න වෙනවා. ඇය පසුකාලයක මේ පිළිබඳව බ්‍රිතාන්‍යයේ The Sunday Times පුවත්පතට ප්‍රකාශ කරලා තියෙනවා. ඇය පත්වුණු තත්ත්වයත් එක්ක අධික විෂාදය තත්ත්වයකින් පෙළුණු බවත්, අතදරුවෙකු වූ ඇගේ කුඩා දියණිය මියයාවී යැයි නිරන්තරයෙන් බියවූ බවත්, අවසානයේ සියදිවි හානිකර ගැනීමට පවා සිතුවිලි පහල වූ බවත් ඇය ප්‍රකාශ කරල තියෙනවා. වෛද්‍ය උපදෙස් මත cognitive behavioral therapy හෙවත් සංජානන චර්යාත්මක චිකිත්සාවට යොමුවෙලා තමයි ඇය යථාතත්ත්වයට පත්වෙන්නේ. හැරී පොටර් කතා මාලාවේ එන අමුතු කතාවන් ගොඩනගන්න ඇය ඇගේ අඳුරු සිතුවිලි භාවිතා කළ බව පවා ඇය පසුකාලීනව The Guardian පුවත්පත සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කොට තිබෙනවා. 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here