Google search engine
Home ගොසිප් පුවත් ඇමතිටත් උඩින් ගිය ලේකම්වරියකට වැඩ වරදී

ඇමතිටත් උඩින් ගිය ලේකම්වරියකට වැඩ වරදී

0
8

minister-sec

ගුරු විදුහල්පති සේවාවල වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට හිතුවක්කාර ලෙස ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් කරුණු විමසන ලෙස අමාත්‍යාංශ ලේකම්වරියට දැනුම් දුන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) පැවැසීය.

අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් ඇයට එවැනි ලිපියක් ලිවීමට හැකියාවක් නැතැයි ද ඔහු සඳහන් කළේය. අමාත්‍යවරයා මෙසේ පැවැසුවේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේ ද පැවැසීය.

“ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, ගුරු බලය සංවිධානයේ ලේකම්වරයාට ලියුමක් යවලා තියෙනවා. එම ලිපියේ තියෙන ප්‍රතිපත්තිමය කරුණු බැලුවාම එතුමියට මෙවැනි ලිපියක් ලියන්න බැහැ. මම අද උදේ තමයි මේක දැක්කේ. මම ලේකම්තුමියට කිව්වා මේ ගැන. වහාම කරුණු විමසන්න කියලා. ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් ලිපියක් ලිව්වේ ඇයි ද කියලා. මම මේ කාරණය සම්බන්ධයෙන් මීට පෙර දරපු ස්ථාවරයක් තියෙනවා. ගුරු වැටුප් විෂමතා තවම විසඳලා නැහැ. විසඳන්න ඕනෑ කොටස් තියෙනවා. විෂමතාවට සමගාමීව ගුරු අධ්‍යාපනඥ සේවය, විදුහල්පති සේවය, අධ්‍යාපන පරිපාලන සේවය, ගුරු උපදේශක සේවය යන අංශවල විෂමතා තියෙනවා. ඒ කමිටු වාර්තාව සකස් කරලා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට යවලා තියෙනවා. එහි එකගතාව අනුව කැබිනට් පත්‍රිකාව සකස් කරනවා.”

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:

” මේ රටේ ගුරු විදුහල්පතිවරුන්ගේ බරපතළ  වැටුප විෂමතාවක් තියෙනවා. එහෙම දෙයක් නැහැ කියමින් වාසනා ගුණරත්න නමැති ජ්‍යෙෂ්ඨ සනකාර ලේකම්වරිය ලිපියක් ඉදිරිපත් කරලා තියෙනවා. මේකෙන් ලොකු ගැටලුවක් මතු වෙලා තියෙනවා. ගුරු විදුහල්පති ක්ෂේත්‍රයේ අය මේ නිසා කල කිරීමට පත්වෙලා. මේකෙන් හානිය වෙන්නේ දූ දරුවන්ට. වැදගත් කමිටු නිර්දේශ මගහරිමින් මෙවැනි ලිපියක් නිකුත් කළේ කොහොම ද? මහ පොළොවේ සත්‍ය යථාර්ථය යටපත් කරන්නේ කොහොම ද? ගුරුවරුන්ගේ විදුහල්පතිවරුන්ගේ මනස හදන්න කටයුතු කරන්න ප්‍රතිඥාවක් ලබාදෙන්න කියලා ඉල්ලනවා.”
අංජුල මහික වීරරත්න

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here