දෙවැනි ලෝක යුද්ධයේදී ජපනුන් සිදු කළ අපරාධ – Saru News Media

0
6

හිරෝෂිමා හා නාගසාකි නගරවලට පරමාණු බෝම්බ හෙලීම නිසා දෙවැනි ලෝක යුද්ධය ගැන කියවෙන තැන්වලදී ජපන් ජාතිකයන් පිළිබඳව අනුකම්පාවක් නිරායාසයෙන්ම ඇති වෙනවා. පරමාණු බෝම්බයක් කියන්නේ මිනිස් වර්ගයාට එරෙහිව සිදු කරපු අපරාධයක්. ඒ ගැන කතා දෙකක් නැහැ. හැබැයි දෙවැනි ලෝක යුද්ධ කාලයේදී සහ ඒ ආසන්න කාලයේදී ජපන් හමුදා වල හැසිරීම් ගැන හොයලා බලද්දි ජපන්නු අපිට දැනෙන තරම් සහ අපිට පේන තරම් අහිංසක නැහැයි කියන එක පැහැදිලි වෙනවා. මේ සටහන දෙවන ලෝක යුද්ධ සමයේදී ජපානයේ අමානුෂික හැසිරීම් පිළිබඳවයි.

 

ඇමරිකා එක්සත් ජනපදයේ පර්ල් වරායට බෝම්බ හෙලීමට ජපානය තීරණය කළේ කිසිදු හේතුවක් රහිතව. ඒ වන විට ඇමරිකා එක්සත් ජනපදය, ජපානයට එරෙහිව කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන තිබුණේ නැහැ. විශේෂත්වය වන්නේ මේ බෝම්බ හෙලීම සිදු වුණේ ජාත්‍යන්තර යුද නීතිය අනුව යුද්ධ ප්‍රකාශ කිරීමකිනුත් තොරවයි. මේ ප්‍රහාරය ජපානය විසින් සාධාරණීකරණය කළේ ක්‍රමෝපායික වශයෙන් වැදගත් ප්‍රහාරයක් වශයෙන් සලකමින්. නමුත් මේ ප්‍රහාරය මඟින් ඇමරිකා එක්සත් ජනපද නෞකා පමණක් නොව විවේක සුව විඳිමින් සිටි ඇමරිකා එක්සත් ජනපද හමුදා සාමාජිකයන් සහ සිවිල් වැසියන් රාශියකගේ ජීවිත අහිමි වුණා.

 

1937 වර්ෂයේදී එවකට චීනයේ අගනුවර බවට පත්ව තිබූ නැන්කින් නගරය ජපානය විසින් ආක්‍රමණය කළා. එම නගරය යටත් වීමෙන් පසුව ජපන් සෙබළුන් විසින් චීන ජනතාව වෙත විශාල භීෂණයක් එල්ල කරනු ලැබුවා. අවම වශයෙන් ලක්ෂ තුනකට අධික චීන ජනතාව ජපන් සෙබළුන්ගේ කුරිරු වධ බන්ධනවලින් මිය ගියා. මේ නිරායුධ මිනිසුන්ට වධ බන්ධන පමුණුවද්දි ජපානය ජාත්‍යන්තර යුද නීති පමණක් නොව අවම මානුෂික ගුණධර්මවත් සැලකුවේ නැහැ. එසේම චීන වැසියන් සතු ධනය පමණක් නොව ආහාර පවා කොල්ල කෑමට ජපන් හමුදා ක්‍රියා කළා. එසේ රැගෙන යාමට නොහැකි වූ සියලු දේ ගිනි තබා දැමීමටද කටයුතු කළා.

 

ජපානයට යටත් වූ චීනයේ ප්‍රදේශ වල සහ කොරියාවේ කාන්තාවන්ට ජපන් සොල්දාදුවන්ගේ  මනදොළ පිනවීමට සිදු වුණා. ඇතැම් ඒ අවස්ථාවල තමන්ගේ විකෘති ලිංගික ආශාවන් සන්තර්පණය කර ගැනීමෙන් පසුව එම කාන්තාවන්ට විවිධ වධ බන්ධන පමුණුවා ඝාතනය කිරීම එම සොල්දාදුවන් අතින් සිදු වුණා. මරණයෙන් බේරීමට වාසනාව ලැබුණු කාන්තාවන්ට ජපානයට යටත් වුණු වෙනත් ප්‍රදේශවල ගණිකා නිවාසවල සේවය කිරීමට සිදු වුණ. වැටුපක් හෝ විවේකයක් නොලැබුණු ඔවුන්ට දිගින් දිගටම සිදු වුණේ සොල්දාදුවන්ගේ කෙළි බඩු බවට පත්වීමටයි. මේ නිසා බොහෝ කාන්තාවන් සිය දිවි නසා ගැනීමටත් පෙළඹුණා.

 

තමන් විසින් අල්ලා ගත් බ්‍රිතාන්‍ය ඇතුළු රටවල යුද සිරකරුවන් සහ යටත් වන ප්‍රදේශ වල ස්වදේශික ජනතාව වහලුන් සේ යොදා ගනිමින් මහා මාර්ග සහ දුම්රිය මාර්ග නිර්මාණය කිරීම ජපනුන් විසින් සිදු කළා. විශේෂයෙන් තායිලන්තය සහ බුරුමය සම්බන්ධ කරමින් ඝන වනාන්තර මැදින් දිවෙන දුම්රිය මාර්ගය තැනවීමේදී ලක්ෂ තුනකට ආසන්න පිරිසක් යොදා ගනු ලැබුවා. නිසි පරිදි ආහාර ලබා දීමක් මෙම ක්‍රියාවලිය තුළ සිදු නොවුණු අතර ඝන වනාන්තර තුළ වැඩ කිරීම නිසා සතුන්ගේ ප්‍රහාර වලට පමණක් නොව විවිධ වසංගත වලටත් මේ සිරකරුවන් නිරාවරණය වුණා. නමුත් ඒ කිසිවක් ජපනුන් නිදහසට කරුණක් ලෙස සැලකුවේ නැහැ. සිරකරුවන්ට විවිධ දඬුවම් පමුණුවමින් තමන්ගේ කාර්යය ඉෂ්ට කර ගැනීමට ඔවුන් උත්සාහ කළා.

 

දෙවැනි ලෝක යුද්ධය ගැන කතා කරද්දී ජර්මානුවන් විසින් යුදෙව්වන් භාවිතා කරමින් සිදු කළ විවිධ පර්යේෂණ ගැන අපිට අහන්න ලැබෙනවා. නමුත් එතරම් ප්‍රසිද්ධියට පත් නොවුණත් ජපනුන් විසිනුත් Unit 731 ලෙස නම් කළ කණ්ඩායමක යටතේ එවැනි පර්යේෂණ සිදු කර තිබෙනවා. එහිදී අල්ලා ගත් යුද සිරකරුවන් විවිධ පර්යේෂණ සඳහා භාවිත කොට තිබෙනවා. උදාහරණයක් ලෙස මිනිස් සිරුරට දැරිය හැකි පීඩනය පරීක්ෂා කිරීම සඳහා අධි බලැති පීඩන ඔවුන් එදා මුදා හැරීම සිදු කරලා තියෙනවා. ඊට අමතරව චීන ජාතිකයන් භාවිතා කරමින් වසංගත බෝම්බ අත්හදා බලමින් මෙම බෝම්බ භාවිතා කර ජනාකීර්ණ නගරවල වසංගත පැතිරවීමට ඔවුන් උත්සාහ කර තිබු බවට සාක්කි හමුවෙනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here