ශ්‍රී ලංකාවේ 13කට දකුණු කොරියාවේ වෘත්තීය අධ්‍යයන අවස්ථා – Saru News Media උණුසුම් පුවත්

0
11

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය යටතේ ස්ථාපිත වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍ය පිළිබඳව ජාතික ආයතනය හෙවත් NIOSHහි වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍ය පිළිබඳ පුහුණුව සාර්ථකව අවසන් කළ සිසුහු 13 දෙනෙක් ආරක්ෂාව සහ යාන්ත්‍රික ඉංජිනේරු උපාධිය හැදෑරීම සඳහා දකුණු කොරියාව බලා පිටත්ව යාමට සුදුසුකම් ලබා තිබෙනවා.

එම 13 දෙනා අතරින් තිදෙනෙකුට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අතින් ගුවන් ඔවුන්ගේ පාඨමාලාවට අදාල සහතික ලබා දුන්නා.

කොරියාවේ චැන්ග්ශින්, බූසන් (University of Changshin, Busan, Korea) විශ්ව විද්‍යාලයේ වසර දෙකක අධ්‍යයන කාලයකින් අනතුරුව මූලික උපාධිය ලබා අදාළ ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මෙම සිසුන් කොරියාව බලා පිටත් වූ අතර කොරියාවේ අධ්‍යාපන අවස්ථා ලබා ගැනීමට ප්‍රථම වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍ය පිළිබඳව ජාතික ආයතනයේ වසර දෙකක පාඨමාලාව සම්පූර්ණ කිරීමත් ජාතික වෘත්තීය පුහුණු ඩිප්ලෝමා සහතික ලබා ගැනීමත් සිසුන් කළ යුතුව තිබුණා.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් දකුණු කොරියාව තුළ ආරක්ෂාව සහ යාන්ත්‍රික ඉංජිනේරු උපාධිය හැදෑරීමේ මෙම නව අධ්‍යයන අවස්ථා සලසා දීමට කටයුතු කරනු ලැබ තිබෙන අතර දකුණු කොරියාවේ ආරක්ෂාව සහ යාන්ත්‍රික ඉංජිනේරු උපාධිය හැදෑරීමට කැමැත්ත පළ කරන ලබන තරුණ සිසුන් සඳහා මෙය වටිනා අවස්ථාවක් වේ.

අමාත්‍යවරයා විසින් ගනු ලැබූ මෙම ආරම්භයත් සමඟ කොරියාවේ Changshin විශ්ව විද්‍යාලය විසින් ශ්‍රී ලංකාවේ වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය පිළිබඳ ජාතික ආයතනය, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සහයෝගී හවුල්කරුවන් ලෙස පිළිගෙන තිබෙනවා.

ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය පිළිබඳ ජාතික ආයතනයේ වසර දෙකක පුහුණුව සම්පූර්ණ කිරීමෙන් සහ කොරියාව තුළ ප්‍රමාණවත් පැය ගණනක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව සිසුන් සඳහා ආරක්ෂාව සහ යාන්ත්‍රික ඉන්ජිනේරු සාමාන්‍ය උපාධිය පිරිනැමීමට Changshin විශ්ව විද්‍යාලය එකඟතාව පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ තරුණ සිසුන් සඳහා නව උසස් අධ්‍යාපන අවස්ථාවක් වන මෙම පාඨමාලාව විශේෂයෙන් සැලසුම් කර ඇත්තේ ආරක්ෂාව සහ ඉන්ජිනේරු ක්ෂේත්‍රයේ සිසුන්ගේ කාර්යක්ෂමතාව නැංවීම සඳහායි.

ආරක්ෂාකාරීව, වඩාත් යාවත්කාලීන වූ තාක්ෂණයත් සමඟ ශ්‍රී ලංකාවේ හෝ කොරියාවේ සේවය කිරීම සඳහා මෙමගින් හැකියාව ලැබෙනවා.

ජීවිත අනතුරු වළකා ගනිමින් වැඩ කිරීමට සිසුන්ගේ හැකියාව මෙමගින් වැඩි දියුණු කෙරෙන අතර මෙම පාඨමාලාව වසර හතරක උපාධි වැඩසටහනක් වේ.

එහිදී වසර දෙකක් ශ්‍රී ලංකාවේ සහ වසර දෙකක් Changshin විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීම සිදු වන පරිදි පාඨමාලාව සැලසුම් කර ඇත.

අදාළ වසර හතර තුළදී

1. ශ්‍රී ලංකාවේ ඉගෙනුම ලබන පළමු වසර දෙක තුළ පළමු සති 54කදී සිසුන් අනිවාර්ය විෂයක් හැටියට වෘත්තීය සුරක්ෂිතතාව සහ සෞඛ්‍ය ජාතික ඩිප්ලෝමාව සම්පූර්ණ කළ යුතු වේ.
2. NIOSHහි සුදුසුකම් ලත් කොරියානු භාෂා පුහුණුකරුවෙකු යටතේ (සති 40ක්) අදියර දෙකක් වශයෙන් කොරියානු භාෂා විභාගය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව කොරියානු භාෂා පාසලට ඇතුළත් වීම සිදු කෙරේ.
3. AutoCAD, කාර්මික ඉන්ජිනේරුකරණය සහ වෙල්ඩින් පුහුණුව විශේෂ කුසලතාවක් වශයෙන් සති 15ක් තුළදී NIOSHහි සිදු කරයි.
4. තෙවැනි, හතරවැනි අවුරුදුවල උපාධිය අවසන් කිරීමේ අනිවාර්ය අදියරක් හැටියට සිසුන් Changshin සරසවියේ ඉගෙනුමට යොමු කෙරෙනවා.

Changshin විශ්ව විද්‍යාලය විසින් ප්‍රදානය කරන ලද ශිෂ්‍යත්ව වඩසටහනක් වන මෙහිදී සිසුන්ට ආරක්ෂාව සහ යාන්ත්‍රික ඉංජිනේරු උපාධිය සම්පූර්ණ කිරීම සඳහා සියයට 50ක ශිෂ්‍යත්වයක් ලබා දී ඇත. තවදුරටත් සිසුන්ට භාෂා පාසලේ නොමිලේ නවාතැන් ලබා දීම සිදු කෙරෙනවා.

සිසුන් කොරියානු කර්මාන්තවල වැඩ කිරීම සඳහා ඔවුන්ගේ උසස් අධ්‍යාපන සමයේදී යොමු කෙරෙන අතර ඔවුන් ආයතනික පුහුණුව සඳහා අනුයුක්ත කරන්නේ අධ්‍යාපනය සාර්ථකව සැපිරීම හා කොරියාවේ වෘත්තීමය රැකියා අවස්ථා පිළිබඳව සලකා බැලීමෙනුත් අනතුරුවයි.

එහිදී උසස් අධ්‍යාපනයේදී දක්වන නිපුණතාව අනුව සිසුන්ට වසර 10ක රැකියා වීසා සදහා සුදුසුකම් ලබයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here