ඔබේ ගෙවත්තේ නොතිබිය යුතු විෂ සහිත ශාක වර්ග 7ක්! – Saru News Media

0
14

අපේ ගෙවතුවල එක එක විදි​ගේ ගස්වැල් වර්ග තියනවා. සමහර ගස් වැල් ඉබේ හැදුණු වැඩුණු ඒවා. තවත් සමහර ඒවා අපි ලස්සනට වවපු ඒවා. ඇහැ පිනවලා, අපේ ගෙමිදුල ලස්සන කරලා, සෙව​ණ සැදුවට අපි ඒ ලස්සන, සෙවණ විඳින සමහර ගස්වල නොයෙකුත් විෂ සැඟවිලා තියෙන්න පුළුවන්. අද අපි කියන්නේ ඒ විදිහට අපේ ගෙවතුවල නිතර දකින්න ලැබෙන විෂ සහිත ගස් වර්ග කීපයක් ගැන. මේවා ඔබේ ගෙවත්තෙත් තියනවනම් ඒවා ඉවත් කරන එක ඔබේ සහ පවුලේ අයගේ ආරක්ෂාවට වැදගත් වේවි.

 

ගෙමිදුලේ ලස්සනට වවන ගස් අතරින් බො​හොම බහුලව දකින්න ලැබෙන ගස් වර්ගයක් තමයි හබරල කියන්නේ. ඩම්බ් කේන් (Dieffenbachia), එලිෆන්ට් ඉයර් වගේ හබරල වර්ග කියන්​නෙ එහෙම අපේ ගෙවතුවල දකින්න ලැබෙන ජනප්‍රිය හබරල වර්ග කීපයක්.

නමුත් ගොඩක් දෙනෙක් දන්නේ නැහැ මේ හබරල වර්ගවල කොළ විෂ සහිත බව. විශේෂයෙන්ම කුඩා දරුවන්ට මේ කොළ ශරීරගත වීම බොහොම අහිතකර සෞඛ්‍ය ප්‍රතිඵල අත්කරදෙන්න පුළුවන්. උගුර, තොල්, දිව ආදිය ඉදිමිලා කතා කරන්න අපහසු වෙන්න පවා පුළුවන් දරුවන්ට මේ හබරළ විෂ ශරීරගත වුණොත්.

 

නියඟලා ගහ විෂ සහිතයි කියලා අපි හැමෝම වගේ දන්නවා. සමහරු නම් නියඟලා ගහ අඳුරන්නේ නැතිව ඒක වවනවා. තවත් සමහරු විෂ බව දන්නවා වුණත් මේ මලේ තියෙන අලංකාරය නිසා ඒ ශා​කය තමන්ගෙ ගෙවත්තේ වවනවා. නමුත් ඒ​ක සෑහෙන අවදානම්සහගත වැඩක් මොකද මේ නියඟලා අලයේ ඇති විෂ වැරදීමකින් හරි ශරීරගත වුණොත් උදරාබාධ, වමනය, මළපහ සමග ලේ පිටවීම විතරක් නෙමෙයි, පෙනහළු, හෘදය, වකුගඩු වගේ ශරීරයේ ප්‍රධාන ඉන්ද්‍රීන්වලට හානි පැමිණෙන්න පුළුවන්. ඒ වගේම මේ විෂ ශරීරගත වුණු පුද්ගලයෙක්ව වහාම රෝහල්ගත කරන්නත් අවශ්‍ය වෙනවා. ඒ තරම් මේ නියඟලා අලවල විෂ මාරාන්තිකයි.

 

රෝස සහ කහ පැහැති කනේරු ලංකාවේ වැඩිපුර දකින්න ලැබෙනවා. ​මේ කනේරු කියන්නේ අලංකාර ශාකයක්. මල් පැළ අලෙවිසැල් වල විකුණන්​න වගේම ගෙවතු වලත් මේ කනේරු ශා​ක තිබෙනවා අපිට දකින්න පුළුවන්. කනේරු කියන්නෙත් නියඟලා වගේම අධික විෂ ශාකයක්. කනේරු ශාකයේ කොටස් අතරින් කනේරු ඇට තමයි වැඩිම විෂකින් යුක්ත වෙන්නේ. මේ කනේරු ඇට සහ ගෙඩි හටගන්නේ කහ පැහැති කනේරු වර්ගයේයි. මීට අමතරව රෝස පැහැති කනේරු ශාකයේ කොළ සහ මල් විෂ සහිත වෙනවා. කනේරු විෂ වීමෙන් හෘදය වස්තුවේ ක්‍රියාකාරීත්වයට දැඩි ලෙස හානි වෙන්න පුළුවන්. හුස්ම හිරවී මරණය වුණත් ළඟා වෙන්න පුළුවන්. ඒ නිසා කනේරු කියන්නේ ගෙවත්තේ තිබීම බෙහෙවින් අවදානම් ශාකයක්.

 

ඔළිඳ ගැනනම් අපිට තියෙන්නේ සුන්දර පැරණි මතකයක්. ඒ කාලේ පාසැල් ක්‍රියාකාරකම්වලට වගේම නොයෙකුත් නිර්මාණ කාර්යයන් වලටත් මේ ලස්සන ඔළිඳ ඇට අපි භාවිතා කළා. අපේ ජන කවි වලත් ඔළිඳ ගැන සඳහන් වෙනවා. නමුත් අපි වැඩි දෙනෙක් නොදැන හිටියට ඔළිඳ කියන්නේ විෂ සහිත ඇට වර්ගයක්. මේ ඔළිඳ ඇට හැපීමෙන් එහි තිබෙන ඒබ්‍රින් කියන විෂ අපේ ශරීරයට ඇතුළු වෙන්න පුළුවන්. ඒ හරහා වමනය සහ මළපහ සමග රුධිරය පිටවීම විතරක් නෙමෙයි, සමහර අවස්ථාවල වකුගඩු අක්‍රීය වීම පවා සිදු වෙන්න පුළුවන්.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here