ලෙඩ රෝගවලින් ඈත් වෙන්න කැමති නම් මේ දේවල් 7 කරන්න – Saru News Media

0
4

රජෙක් වුණත් ලෙඩෙක් වුණොත් කියන්නේ මෑතකදී වියෝවුණ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහත්තයා ලියපු පොතක්. ඒ පොතේ නම ඇතුළේ තියනවා පොතේ සාරයම. ඇත්තටම මොන තරම් ධනයක් බලයක් තිබ්බත් වැඩක් තියෙනවද ලෙඩ වෙලා ඔත්පල වෙන්න වුනොතින් එහෙම? මොන විෂ්මකර්මයාටවත් බැහැ අපේ සොඛ්‍යය ගැන තීරණ ගන්න අපිට ඇරෙන්න. ඒ කියන්නේ නිරෝගී සම්පන්න ජීවිතයක් ගතකරනවද නැත්නම් රජ ලෙඩෙක් වෙනවද කියන තීරණය අපේ අතේ තියන දෙයක්. සිහි කල්පනාවක් තියෙන කවුරුවත් ලෙඩෙක් වෙන්න කැමති නෑනේ. කෙහෙල් කැන් වැට පනින්න කලින් හොඳ වැටක් ගහගමු.

 

ඔළුවේ කැක්කුමේ ඉඳන් මුත්‍රා අමාරු වෙනකන් ඔක්කොම අමාරු වෙන්න ප්‍රධාන හේතුවක් තමයි හරිහැටි වතුර බොන්නැති එක. වතුර බොන්න මතක් වෙන්නේ කාලා ඉවර වෙලා නැත්නම් වතුර තිබහක් හැදුනම විතරයි නම් ඒක ලෙඩ රෝගවලට අත වැනීමක්. අපේ ඇඟේ තියෙන වතුර කොයිවෙලෙත් බලන්නේ පිට පනින්නමයි. ඒ දාඩිය විදියට නැත්නම් මුත්‍රා විදියට. ඉතින් පිටවෙන ගාණට හරියන්න නොබිව්වොත් විජලනය වෙන්න පුළුවන්. ඒක වුණාම මොළයේ ක්‍රියාකාරිත්වය සහ ශාරීරික ක්‍රියාකාරකම් ඇණහිටිනවා. කාලෙන් කාලෙට එක එක ඔස්තාර්ලා දවසකට මෙච්චර වතුර ප්‍රමාණයක් බොන්න ඕනි කියලා කියනවා. මෑතක දී වෛද්‍යවරු කියන විදියට අඩුම වශයෙන් වැඩුණු පුද්ගලයෙක් ලීටර 3ක්වත් වතුර බොන්න ඕනි.

 

නිදාගන්න කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නෑ. දැන් මිනිස්සුන්ට තියෙන වැඩ කන්දරාවේ හැටියට නිදාගන්න කිව්වොත් පොල් උලක වුණත් නිදාගන්නවා. ඒත් එහෙම කරන නින්දෙන් කිසි වැඩක් වෙන්නේ නැහැ. සුවපහසු නින්දක් ලබා ගත්තම මතක ශක්තිය වැඩි වෙනවා, විෂාද තත්ත්ව ඇතිවෙන්න තියන අවදානම අඩු වෙනවා, කෑම රුචිය ඇති කරනවා, ඒ මදිවට ස්නායු පද්ධතිය හරිහැටි වැඩ කරන්නෙත් මෙහෙම නින්දක් ගත්තම ලු. නිදාගත්තේ නැති වුණාම බලන් ඉද්දි මහත් වෙනවා, මානසික රෝග ඇති වෙනවා, දියවැඩියාව හැදෙන්නත් නින්දක් නැතිකම හේතු වෙනවා

 

මේක නිකන් ම නිකන් සිරුරේ හැඩය පවත්වාගන්න රැල්ලට කරන කෙරුවාවකට වඩා ගොඩක් වෙනස්. නිතර ව්‍යායාමවල නිරත වෙන එකෙන් රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් තත්ත්ව අඩු කරනවා. ආයෙ ඉතින් ජිම් යන්න ඕනි නැහැ. පැය භාගයක් ඇතුළත කිලෝමීටරයක් ඇවිදින්න ගත්තා නම් හරි. අනික පොඩ්ඩෙක් වුණත් දන්නා දෙයක් තමයි කාලා බීලා ඔහේ හිටියොත් තඩියෙක් වෙලා නවතින්නේ කියන එක. තඩියෙක් වුණාම දියවැඩියාව හැදෙන්න තියන අවදානම වැඩියි. නිසි පරිදි ව්‍යායාම කරන එකෙන් දියවැඩියාව වළක්වාගන්නත් පුළුවන්.

 

ලෝකයේ ගොඩක් රටවල් මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි අධික තරබාරුව. ඒක හැදෙන්නේ සිරුරට දහනය කරන ප්‍රමාණයට වඩා විශාල වශයෙන් ආහාර ගැනීමෙන්. තරබාරුවත් එක්කම හැදෙන ලෙඩ පෝලිමක් තියනවා. දියවැඩියාව, අධිරුධිර පීඩනය සහ අක්මාව ආශ්‍රිත රෝග එතනින් කීපයක්. ඉතින් ඒකට සමබල ආහාර වේලක් ගන්න එක විසඳුමක්. කැලරි ගොඩක් තියෙන ඒත් පෝෂ්‍ය පදාර්ථ අතින් ගොඩක් අඩු කෑම කන එකෙන් වැළකිලා කැලරි අඩු පෝෂණීය බවින් වැඩි කෑම කන්න පුළුවන් නම් අන්න මරු. ආහාර විවිධත්වයක් තියන අපේ රටේ කැල්සියම් සහ යකඩ අඩංගු ආහාර ඕනි තරම් තියෙද්දී කාබෝහයිඩ්‍රෙට් පස්සේ යන්න නම් එපා. සමබල ආහාර වේල ගැන හොඳටම දැනුවත් කරන ක්‍රමවේදය තමයි MyPyramid.

 

කන්න යනකොට ඌරන්ට මොන සෞඛ්‍යද වගේ ගොන් පාර්ට් කියවන්නැතුව හොඳින් අත් සෝදන්න. අපි අත්දෙක වීදුරු පෙට්ටියක් අස්සේ දාගෙන ඉන්නේ නැහැ. නහය කහනවා, වැසිකිලියට ගියාට පස්සේ අහවල් එක හෝදනවා, කොන්දොස්තර අයියා කෑ ගහන හින්දා බස් එකේ මැද පොල්ල අල්ලනවා ඇතුළු තව එකී මෙකී නොකී වැඩ කරනවනේ. ඕවා කරාම ඉතින් අම්බානෙකට අත්වල විෂබීජ. මොකෝ ඉතින් අපිට පේනවය කියලා හිතන්නැතුව හොඳින් සබන් ගාලා හෝදන්න. පාචනය, කොළරාව, හෙපටයිටිස් A, ඉන්ෆ්ලුවන්සාව වගේ රෝග හැදෙන්න හෝදපු නැති අත් හේතු වෙනවා කියලා කලින් දැනන් හිටියද?

 

සංගීතේ කියන්නේ ඔලු දෙදරන්න කියන සින්දු නෙවේ. හොටු පෙර පෙර අඬන ඒවත් නෙවේ. තමන් ආස කරන ඒත් අහන්න පුළුවන් විදියේ හොඳ දේවල්. අනික සංගීතයක් වුණාම වචන තියෙන සින්දු විතරක් ම වෙන්න ඕනිත් නැහැනේ. YouTube පැත්තේ ගියා නම් ඕනි තරම් හොයාගන්න පුළුවන්. සින්දු අහන්න කියන හේතුව තමයි මානසික රෝග සෑහෙන ප්‍රමාණයකින් මිදෙන්න තියෙන හැකියාව. ආතතිය අඩු කරන්න පුළුවන් අපූරු දෙයක් තමයි සංගීතය. කලින් සඳහන් කරපු ව්‍යායාම කිරිල්ලට සංගීතයත් මුසු කරගත්තාම වැඩියෙන් ව්‍යායාම කරන්න හිතෙනවා කියලා දැන් හොයාගෙන තියෙනවා. ඒකනේ ජොගින් යන කට්ටිය සින්දු අහ අහා යනවා දකින්නේ.

 

ඩොක්ටර් ළඟට යන්න බබා හම්බ වෙනකන් ඉන්නේ නැතුව මාසිකව නැත්නම් ඩොක්ටර් දෙන කාලසටහනකට අනුව යන්න. පවුලේ වෛද්‍යවරයා නැත්නම් එක් එක් අංශවලට විශේෂ වුණ වෛද්‍යවරු හමුවන්න. ඒකට ඉතින් සල්ලි වියදම් කරලා චැනලින් සෙන්ටර් යන්න ඕනි නෑ. ආණ්ඩුවේ ඉස්පිරිතාලවල මාසික පරීක්ෂණ සහ එක් එක් වැඩමුළු පවත්වනවා. අපි යන්නේ නැති එක වෙනම කතාවක්.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here