ඉස්හොරි කියන්නේ සුලභවම තියෙන සමේ ගැටළුවක්. හිසේ සම වියළි වෙලා සුදුපැහැ කුඩා පොතු සහ කුඩු වශයෙන් හිසෙන් ඉවත්වෙන එකට ඉස්හොරි කියලා කියනවා. ඉස්හොරි එක පැත්තකින් කොණ්ඩයේ පෙනුම වෙනස් කරනවා. අනෙක් පසින් මුහුණට, අපේ ඇඳුම්වලට වැටිලා අපවිත්‍ර පෙනුමක් ගේනවා. ඉතින් ඉස්හොරි තියෙන හැම එක්කෙනෙක්ටම ඕනි ඉස්හොරි ඉවත් කරගන්න.
දිලීර ආසාදන තත්ත්වයන් නිසාත් ඉස්හොරි ඇතිවෙනවා. ඒ වගේම හිසට යොදන ෂැම්පෝ, කන්ඩිශනර් සහ වෙනත් දේවල් නිසාත් ඉස්හොරි වැඩිවෙන්නට පුළුවන්. විටමින් බී, සින්ක් ආදී පෝෂ පදාර්ථ සිරුරට නොලැබී ගියාමත් ඉස්හොරි ඇතිවීම වැඩිවෙනවා. ඉස්හොරි ඇතැම් වර්ග බෝ වෙනවා. දිලීර ආසාදන ලෙස වැළඳෙන ඉස්හොරි වර්ග බෝවන්නට ඉඩකඩ තියෙනවා. ඒ වගේ අවස්ථාවල තුවා සහ ඇඳුම් ආදිය හුවමාරු නොකර පාවිච්චි කිරීමෙන් ඉස්හොරි සහ සමේ රෝග අවදානම අඩුකරගන්න පුළුවන්.
හිස නිතරම සේදීම තුළින් හිසේ තිබෙන ස්වාභාවික තෙල් ගතිය නැතිවෙලා ඉස්හොරි අවදානම වැඩි වෙනවා. ඒ වගේම හිස හෝදන්නේ නැතුව දවස් ගණන් නොනා ඉන්නවා නම් එතැනදීත් හිසේ මැරුණු සම් කොටස් තට්ටු ලෙස එක්රැස් වී ඉස්හොරි අවදානම වැඩි කරන්නට හේතු වෙනවා. ඒ නිසා නෑම නිසි පරිදි කිරීම ඉස්හොරි පාලනයට වැදගත් වෙනවා. මේ පිළිබඳ පර්යේෂණ කරන අය කියන විදිහට නෑම කියන්නේ මළපහ කරනවා වගේ වැඩක්. අපි නිතරම මළපහ කරනවා නම් ඒකත් අවුලක්, ඒ වගේම මළපහ කරන්නේ සතියකට දෙකකට වතාවක් නම් එතනත් අවුලක් තියෙනවා.
ස්ට්‍රෙස් එක වැඩි වුනාම ඉස්හොරිත් ඒ එක්කම වැඩි වෙනවා. ඒ නිසා ස්ට්‍රෙස් පාලනයත් ඉස්හොරිවලට බලපානවා. සීතල වටපිටාවකට එකපාර ඇතුළත් වීම නිසාත් ඉස්හොරි අවදානම වැඩි වනවා. අපිට වින්ටර් හෝ සීතල කාලයක් නැතත් ඔෆිස් එකක පැය හත අටක් සීතලේ වායුසමනය කළ වටපිටාවේ ඉන්න අයටත් ඉස්හොරි වැඩිවෙන්න අවදානමක් තියෙනවා. සීතල පරිසරයක ජීවත් වීම, ස්ට්‍රෙස් එක වගේ කාරණා පාලනය කරන්න තරමක් අමාරු වුනත් හැකි පමණ එයින් ගැලවී ඉන්නට පුළුවන් නම් වටිනවා.
ඉස්හොරි ඇතිවීම සාමාන්‍යයෙන් කාන්තාවන්ට වඩා පිරිමින්ට වැඩියි. ඒ වගේම යෞවන සමයේ වැඩිහිටි ලක්ෂණ පහළ වෙන සමයේත් ඉස්හොරි ඇතිවීම වැඩිවීමක් පෙන්වනවා. තෙල් සහිත හිස්කබලක් තිබීමත් ඉස්හොරි වැඩිවෙන්නට එක හේතුවක්. ලංකාවෙදි නම් එක් එක් පළාත්වල තිබෙන ජලයේ තත්ත්වය අනුවත් ඉස්හොරි ඇතිවීමේ අවදානම වෙනස් වෙනවා.
Saru Fm Media