නියම ප්‍රොෆෙෂනල් විදියට ඊමේල් එක්ක ගනුදෙනු කරන්නේ මෙහෙමයි – 2 කොටස – Saru News Media

0
6

දැන් කාලේ අපිට ඊමේල් කියන්නේ, ඉස්සර කාලේ තිබුණු තැපැල් සේවාව වගේම තමයි. ඒ තරමට වැදගත්. හැබැයි ඊට වඩා සෑහෙන්න ලේසියි, පහසුයි. විශේෂයෙන්ම දැන් වෙනකොට ඊමේල් එක්ක යවන්න, ආපු ඊමේල් බලන්න කම්පියුටරයක් ලඟ ඉන්න එකවත් අත්‍යාවශ්‍ය නැහැ. තමන් අතේ මූලිකම මට්ටමේ ස්මාට්ෆෝන් එකක් තිබුණත්, ඒකෙනුත් ඊමේල් ගනුදෙනු කරදරයක් නැතුව කරගන්න පුළුවන්.

 

හරි, ඊමේල් කතන්දරේ ඔය වගේ අතිශයින්ම පහසු දෙයක් වුණාට, ඇත්තටම ප්‍රොෆෙෂනල් ජීවිතේදී ඊමේල් ගනුදෙනු කරන්න ඕන පිළිවෙලක් තියෙන බව අපි කලිනුත් කතා කරලා තියෙනවා. ඒ කියන්නේ ඔය යාළුවෙක්ට, නෑදෑ හිතමිත්‍රයෙක්ට, සමීපතමයෙක්ට ඕන විදියකට ඊමේල්ස් යවන්න පුළුවන්, ගැටළුවක් නෑ. හැබැයි අපි ප්‍රොෆෙෂනල් කටයුතු වලදී එහෙම ආවට ගියාට ඊමේල්ස් යවන එක හරියන්නෙ නෑ. වෘත්තීමය විද්‍යුත් තැපැල් පණිවිඩ නැතිනම් ඊමේල් යවන්න වෘත්තීමය විදියක් තියෙනවා. ආන්න ඒ නියම ප්‍රොෆෙෂනල් විදියට ඊමේල් ගනුදෙනු කිරීම ගැන තව තොරතුරු ටිකක් කියලා හැමෝම දැනුවත් කරන්න තමයි මේ ආටිකල් එක ලියවෙන්නේ.

 

දැන් ඊමේල් එකක් ප්‍රොෆෙෂනල් ලෙවල් එකෙන් යවනකොට අපි හිතලා බලන්න ඕන හරියටම කාටද යවන්නේ කියන එක. සමහර වෙලාවට ඊමේල් එකක් කීප දෙනෙක්ට යවන්න සිද්ධ වෙනවා. අන්න එතකොට To කියන තැනට දාන්න ඕන ඊමේල් එක හරියටම යවන්න අවශ්‍ය අයගේ ඇඩ්‍රස් තමයි. ඊට පස්සේ ඒ ඊමේල් එක යම් කිසි කෙනෙක්ට සෘජුවම යවන්නෙ නැති වුණත්, ඒ කෙනාත් ඒ ඊමේල් එක ගැන දැනුවත් වෙලා ඉන්න අවශ්‍ය නම්, CC කියන කොටසට ඒ අයගේ ඇඩ්‍රස් තමයි දාන්න ඕන. ඒ කියන්නේ කාබන් කොපි කියන එක. එතකොට අපි ගොඩක් දෙනෙක්ට එක පාර ඊමේල් එකක් යවනකොට, ඒ ඒ අයගේ ඊමේල් ලිපින අනික් අයටත් පේන විදියට යවන එක හරි නෑ. අන්න එතකොට ඒ ඊමේල් ඇඩ්‍රස් ඔක්කොම දාන්නේ BCC නැතිනම් බ්ලයින්ඩ් කාබන් කොපි කියන කොටසට. ඒ වගේම, අපිව BCC කරලා ඊමේල් එකක් ආවොත්, අපි ඒකට රිප්ලයි කරන්නෙ නෑ.

 

ඊමේල් එකක් වෘත්තිය මට්ටමෙන් ලියනවා කියන්නේ අර ලියුමක් යවනවා වගේ සැපදුක් ඔක්කොම අහලා, අන්තිමට සල්ලි කීයක් හරි එවන්න කියලා ලියන විදියට නෙවෙයි. අපි කලිනුත් ඊමේල් ගැන කියපු ආටිකල් එකේදී කියලා තියෙනවා ප්‍රොෆෙෂනල් ඊමේල් එකක තියෙන්න ඕන කොටස් ගැන. හැබැයි ආශිංසනය කරලා ඊමේල් එක පටන් අරගත්තු ගමන්, පැහැදිලිව, ඊමේල් එකෙන් කියන්න අවශ්‍ය දේ ඉස්මතු වෙන විදියට මුල් වාක්‍යය දෙක ඇතුළෙම ලියන්න ඕන. එතනින් එහාට ඒ අවශ්‍ය දේ පැහැදිලි කරන එක තමයි කෙරෙන්නේ. අවශ්‍යම නම් ඊමේල් එකේ පරමාර්ථය හෝ විශේෂයෙන් කියන්න ඕන කාරණය ඇතුළත් වෙන වගන්තිය දෙක කැපිලා පේන විදියට බෝල්ඩ් කරන්නත් පුළුවන්.

 

සාමාන්‍යයෙන් ඊමේල් එකක් ලියනකොට, වර්ඩ් ඩොකියුමන්ට් එකක ලියනකොට වගේ ඔටෝ ස්පේස් හිටින්නෙ නෑ පරිච්ඡේද අතර. අන්න ඒ නිසා, මතක ඇතුව ඊමේල් එක ලියන විටදී අපි පැහැදිලිව ඡේද වෙන් වෙන විදියට ඉඩක් තියන්න ඕන. Dear Samith කිව්වට පස්සෙත් එක පේලියක ස්පේස් එකක් තියලා තමයි වාක්‍යය ලියන්න පටන් ගන්න ඕන. එතකොට ඊමේල් එකේ පොයින්ට්ස් ලියනවා නම්, ඊමේල් එඩිටර් එකෙන් බුලට් පොයින්ට්ස් දාන්න පුළුවන්. හැබැයි ඡේද සහ පොයින්ට්ස් අතරෙත් කලින් කියපු විදියට එක පේළියක ස්පේස් එක ගාණේ තියලා ඊමේල් එක සම්පාදනය කළහම, ඊමේල් එක කියවන කෙනෙක්ට හරිම ලේසියි, වටහා ගන්න පහසුයි, ඊමේල් එක පැහැදිලියි.

 

සාමාන්‍යයෙන් අපි ඔය එස්.එම්.එස් එකක් යවනකොට, වට්ස්ඇප් වගේ එකකින් පණිවිඩයක් යවනකොට උත්සාහ කරන්නේ කියන්න ඕන දේ කියන්න මිසක්, හරියට අක්ෂර වින්‍යාස හදන්න සහ ව්‍යාකරණානුකූලව ලියන්න නෙවෙයිනේ. ඒක හරි. හැබැයි ප්‍රොෆෙෂනල් ඊමේල් එකක් යවනකොට නම් අක්ෂර වින්‍යාස සහ ව්‍යාකරණ ගැන සැලකිලිමත් වෙන එක තමයි හරි විදිය. විශේෂයෙන්ම, අක්ෂර වින්‍යාස හෝ ව්‍යාකරණ එහෙ මෙහෙ වීම නිසා, ඊමේල් එකෙන් කියන්න හදන පණිවුඩය වෙනස් වෙන්නත් පුළුවන් කියන එක අමතක කරන්න එපා. ඊමේල් එකක් ලියලා ඒකේ මූලික අක්ෂර වින්‍යාස සහ ව්‍යාකරණ දෝෂ හදන්න, ඔන්ලයින් ග්‍රැමර් ඇන්ඩ් ටයිපෝ චෙකර් එකක් එහෙමත් පාවිච්චි කරන්න පුළුවන්. ඒක අමතර කරදරයක් කියලා කෙනෙක් හිතන්න පුළුවන්. හැබැයි දෝෂ නැති ප්‍රොෆෙෂනල් ඊමේල් එකක් යැවීම වෙනුවෙන්, පොඩ්ඩක් කරදර වුණාට කමක් නෑ!

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here