සෙම් අමාරු වලට හරියන අත්බෙහෙත් කීපයක් මෙන්න! – Saru News Media

0
4

දැන් ඔය සෙම කිව්වහම සමහරු සෙම පෙරනවා කියලා කියන්නේ, කවුරුහරි ගෑණු ළමයෙක් හරි පිරිමි ළමයෙක් දිහා හරි කෑදරකමෙන් බලන එක සහ කෑදර විදියට හැසිරෙන එක. හැබැයි ඉතින් අපි ගොඩක් දෙනෙක් නම් සෙම හෝ සෙම් අමාරු කියලා කියන්නේ ඇත්තටම සෞඛ්‍ය ගැටළුවක් හඳුන්වන්න. ඕක බටහිර වෛද්‍ය ක්‍රමයට නම් phlegm කියලා තමයි හඳුන්වන්නේ. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව නම් කියන්නේ තුන්දොස්, ඒ කියන්නේ වාත පිත්ත සහ කප කියන තුනෙන්, කප වැඩි වුණහම නැතිනම් අඩු වුණහම සෙම් අමාරු ඇතිවෙනවා කියලා තමයි. සාමාන්‍යයෙන් ඔය වැසි කාලේ එහෙම එනකොට ගොඩක් අයට සෙම් අමාරු හැදෙනවනේ. ඒ ඇරෙන්න ඉතින් දෙයියනේ කියලා කොවිඩ්-19 තියෙන මේ කාලෙත් ගොඩක් අයට සෙම් අමාරු ඇතිවෙනවා. හරි, දැන් සෙම් අමාරුවක් හැදුණු ගමන් සමහරු දොස්තර ගාවට දුවනවනේ. හැබැයි ඉතින් එදා ඉඳන්ම ඔය ආච්චිලා සීයලා අම්මලා තාත්තලා සෙම් අමාරුවකට කරන ගෙදරදොරේ අත්බෙහෙත්, පොඩි පොඩි ක්‍රමවේද එහෙම තියෙනවා. අන්න එව්වයින් එකක් දෙකක් කරලා, ගොඩක් වෙලාවට සෙම් අමාරුව අඩු කරගන්න පුලුවන්. මේ කියන්න යන්නේ එහෙම ක්‍රම කීපයක් ගැන.

 

මේක ඉතින් දන්නෙ නැති නම්, ඒ කෙනා ශ්‍රී ලංකාවේ කෙනෙක් වෙන්න බෑ. ඒ තරමට එදා ඉඳන්ම ඔය සෙම් රෝග සහ ඒ ආශ්‍රිත පොඩි පොඩි රෝග වලට අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි කියලා ශ්‍රී ලාංකික අම්මලා තාත්තලා බීලා තියෙන්නෙත්, අපිට බොන්න දීලා තියෙන්නෙත් කොත්තමල්ලි තමයි. ඇත්තටම මෙතනදී වෙන්නේ ඉඟුරු කොත්තමල්ලි සහ තවත් ඖෂධීය ගුණ තියෙන වර්ග කීපයක් වතුර දාලා, නටනකල් උණු කරලා, ඊට පස්සේ පෙරලා බොන එක. ගොඩක් වෙලාවට ඈත කාලේ ඉඳලම කඩවල ගන්නත් තිබුණා මේවා. පස්පංගුව කියලා හඳුන්වන්නේ මේවා තමයි. ඉඟුරු, කොත්තමල්ලි, සිරිතේක්කු, කටුවැල්බටු, පත්පාඩගම්, තිප්පිලි තමයි මේ වල තියෙනවා කියලා සාමාන්‍යයෙන් කියන්නේ. ඇත්තටම මේක සෙමට විතරක් නෙවෙයි, උණ හෙම්බිරිස්සාවේ ඉඳලා තවත් බොහෝමයක් රෝග වලට දිවඔසුවක් කියලා තමයි කියන්නේ. ගොඩක් අය හකුරු කෑල්ලක් එක්ක නැතිනම් සීනි ටිකක් එක්ක බිව්වත්, මේක නිකම් බොන්නත් පුළුවන්. 

 

දැන් කාලේ මේකත් ඔය සෙම ආශ්‍රිත රෝග වලට බොහොම ප්‍රසිද්ධයි. ඒකනේ කොවිඩ්-19 පැතිරිලා, මිනිස්සු කොවිඩ්-19 සීරියස් අරගෙන තිබුණු කාලේ ෆාමසි වල, සුපර්මාකට් වල වගේ කොහේවත් විටමින් සී හොයාගන්නවත් නැති වුණේ. ආයෙ ඉතින් විටමින් සී පෙති ගෙනැල්ලා හකුරු කනවා වගේ තමයි සමහරු කන්නේ. ආයෙ රසත් හොඳයිනේ. ඇත්තටම සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීගෙන එන මුල් අවස්ථාවේ ඉඳන් විටමින් සී ගත්තොත් ඉක්මනට හොඳ වෙනවා කියල තමයි කියන්නේ. ඒ ඇරෙන්න ඉතින් නාරං, ඇඹුල් දොඩම් වගේ පැඟිරි කුලයේ පළතුරු වලත් විටමින් සී තියෙනවා. සමහරු ඇඹුල් දොඩම් ඉස්මට සූකිරි ටිකක් කුඩු කරලා දාලා ලිපේ තියලා පැණියක් හදාගෙන, ඒකත් දිව ගාලා සෙම හොඳ කරගන්නවා.

 

සෙම් අමාරු තියෙන කෙනෙක්ට බොහොම පහසුවෙන් සෙම කඩාගන්න පුළුවන් ක්‍රමයක් තමයි දුම් අල්ලන එක. වැඩේ සරලයි. වතුර එකක් නටන්න තියෙනවා. ඒක නටනකොට කට පොඩි භාජනේකට ඒ වතුර ටික දාලා, තමන් පොඩි පුටුවක ඉඳගෙන, ඒ ඉස්සරහින් මිටි බංකුවක් වගේ එකක් තියලා, ඒ බංකුව උඩ අර නටන වතුර තියෙන භාජනේ තියලා, ඇඳ ඇතිරිල්ලක් වගේ එකක් අරගෙන, තමන්ගේ ඔළුවේ ඉඳන් අර භාජනෙත් ඇතුළුව සම්පූර්ණයෙන්ම වැහෙන්න දාලා, අර උණු වතුරෙන් එන හුමාලය හොඳට ආඝ්‍රාණය කරන එක තමයි කරන්න තියෙන්නේ. සමහරු මේ තරම් ලේසි ප්‍රතිකර්මෙට කැමති නෑ, මොකද හුමාලය අල්ලලා ඉවර වුණාම සුපිරියට දාඩිය දාන නිසා. හැබැයි මේක කළාම සෙම් අමාරුව නැතුව ගිහිල්ලා පුදුම සහනයක් දැනෙනවා. සමහරු මේ උණු වතුර එකට මෙන්තෝල් කැටයක් එහෙමත් දානවා, එතකොට ඒකෙන් එන නැවුම් ගතිය එක්ක හුමාලය ආඝ්‍රාණය කරන්න. ඒ ඇරෙන්න ඔය යකිනාරං හරි පැඟිරි වර්ගයේ වෙනත් කොළ වර්ගයක්, පාවට්ටා කොළ, නික කොළ, මේවල පොතු, කොත්තමල්ලි වගේ දේවලුත් එක්ක දාපු වතුර නටවලා, ඒකෙන් හුමාලය අල්ලන එකත් කරනවා. සමහරු දෙහි කොළ විතරක් දාලත් ඔය වැඩේ කරගන්නවා. තවත් සමහරු බීමට ලිපේ තියලා හදාගත්තු පස්පංගුව පෙරලා ගත්තහම ඒකටම වතුර දාලා නටවලාත් හුමාලය අල්ලනවා.

 

මේකත් සියේට සීයක සෙම් අමාරු වලට අත්බෙහෙතක්, ගෙදර බෙහෙතක් කියන්න අමාරුයි. හැබැයි ඔය වෛද්‍යවරු කියන දෙයක්. ඒ තමයි, ශරීරය විජලනය වෙන්න නොදී, ඒ කියන්නේ ඩීහයිඩ්‍රේට් වෙන්න නොදී තියාගන්න එක. ඒකට කරන්න පුළුවන් දේ තමයි හොඳට වතුර සහ වෙනත් හිතකර පාන වර්ග බොන එක. ඇත්තටම ඒකෙන් අර සෙම වෙහෙළවනව කියන තත්වයත් අඩු කරගන්න පුළුවන්. වඩාත් පහසුවෙන් අතිරික්තව ශරීරයේ හැදෙන සෙම ශරීරයෙන් පිට කරගන්නත් මෙහෙම දියර වර්ග පානය කරන එක උදව් වෙනවා කියලා කියනවා. හැබැයි කලිනුත් කිව්වා වගේ සීතල වතුර හොඳ නෑ. හොඳම දේ තමයි දවස පුරාවටම මද රස්නෙන් වතුර බොන එක. ඒ වගේම, ඉඟුරු සහ දෙහි දාපු තේ එකක් බොන එකත් සෙම් අමාරුවට සහනයක් ගෙන එයි.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here